යාල උද්‍යානයේ පලටුපාන දොරටුවෙන් දිනකට සෆාරි ජීප් 300 ක් ඇතුළු කිරීමට අවධානය

(කොළඹ, ලංකාපුවත්) –යාල ජාතික උද්‍යානයේ පලටුපාන දොරටුවෙන් දිනකට කාල වේලාවන් දෙකක් යටතේ සෆාරි ජීප් රථ 300ක් පමණ ඇතුළු කිරීම කෙරෙහි අවධානය යොමුවී තිබෙන බවත් මේ ගැන දැනට විරෝධතාවයේ යෙදී සිටින යාල සෆාරි ජීප් රථ හිමියන්ගේ සංගමයට දැනුම් දීමට පියවර ගන්නා බවත් තිරසර සංවර්ධන හා වනජීවී වැඩබලන අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය පැවසුවාය.

ඇය මේ බව ප්‍රකාශ කළේ යාල සෆාරි ජීප් රථ සංගමය විසින් යාල ජාතික වනෝද්‍යානයේ භාරකරු වෙත ඉදිරිපත් කරනලද ඉල්ලීම් සම්බන්ධයෙන් අද (25) අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකදීය.

මේ අනුව උදෑසන 6.00 සිට දහවල් 12.00 දක්වා ජීප් රථ 150ක්ද සවස 2.00 සිට සවස 6.00 දක්වා ජීප් රථ 150ක්ද වශයෙන් දිනකට සෆාරි ජීප් රථ 300ක් පලටුපාන දොරටුවෙන් පමණක් යාල ජාතික වනෝද්‍යානයට ඇතුළුවීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවිය.

ඒ සඳහා උදෑසන 5.30 සිට උදෑසන 8.00 දක්වාත් දහවල් 1.30 සිට සවස 4.00 දක්වාත් ප්‍රවේශ පත්‍ර නිකුත් කරනු ඇත.

යාල ජාතික උද්‍යානයේ දිනය පුරා (Full Day) සංචාරයේ යෙදෙන ජීප් රථ දහවල් 12.00 සිට සවස 2.00 දක්වා කාලය තුළ වාහන නැවතුම් ස්ථානයන්හි නවතා විවේක ගත යුතුය යන කාරණය කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය.

මීට අමතරව යාල ජාතික උද්‍යානයේ සෆාරි ජීප් රථ වාර්ෂිකව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලියාපදිංචිකොට නියාමනය කෙරෙන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත් එය ඉදිරියේදී සියළුම ජාතික උද්‍යානවල සෆාරි ජීප් රථ ලියාපදිංචි කිරීම සඳහා හදුන්වා දීමටත් මෙම සාකච්ඡාවේදී තීරණය විය.

යාල ජීප් රථ හිමියන්ගේ සංගමයේ යෝජනාවලට මෙම සාකච්ඡාවේදී සාධනීය පිළිතුරු ඉදිරිපත්විය. එම තොරතුරු ජීප් රථ හිමියන්ගේ සංගමයට දැනුම්දීමටත් තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා 26 දින යළි ශ්‍රී ලංකාවට පැමිණි පසු මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමටත් මෙම සාකච්ඡාවේදී තීරණය කෙරිණ.

යාල ජාතික උද්‍යානයට ඇතුළුවන සෆාරි ජීප් රථ සඳහා යම් සීමාවක් පැනවීමට තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ උපදෙස් පරිදි කටයුතු කර තිබෙන්නේ යාල ජාතික වනෝද්‍යානයේ වනජීවී සම්පත අනාගත පරපුරට ආරක්ෂා කරදීමට බවත් ඒ සඳහා සෆාරී ජීප් රථ හිමියන් ඇතුළු සියලුම දෙනාගේ සහයෝගය අවශ්‍ය බවත් සුමේධා ජී. ජයසේන අමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය.

තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්. ජී. සුරියබණ්ඩාර යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *