සවුදි රජයෙන් ඇ.ඩො. මිලියන 73 ක ණය ආධාරයක්

(කොළඹ, ලංකාපුවත්) –වයඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පහසුකම් නංවාලීම හා කළු ගඟ වම් ඉවුර සංවර්ධනය යන ව්‍යාපෘති දෙක සඳහා සවුදි රජය විසින් ඇ.ඩො. මිලියන 73 ක සහනදායී ණයක් ලබාදී ඇත.
මේ සඳහා වන ගිවිසුම් දෙකකට ඊයේ(24) මුදල් අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා හා සංවර්ධනය සඳහා වන සවුදි අරමුදලේ මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් ෆවුසි අල් සාවුද් මහතාද අත්සන් තැබූහ.

උසස් අධ්‍යාපනය සඳහා දරන වියදම ඉහළ නැංවීම මේ රජයේ ප්‍රතිපත්ති රාමුව සමඟ අනුගතවෙමින් වයඹ විශ්වවිද්‍යාලයේ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලැබේ.

විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පහසුකම් හා යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම විශ්වවිද්‍යාලය අවට ජීවත්වන ජනයාගේ ජීවනෝපාය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ඉහත ව්‍යාපෘතිය නිර්මාණය කර ඇත.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු වන්නේ වයඹ විශ්වවිද්‍යාලය සඳහා දැනුම පදනම් කරගත් ස්වකීය සම්පත් හා කුසලතාවය මත විශ්වාසවන්තව කටයුතු කළ හැකි සහ තිරසර ප්‍රජා අන්තර් ක්‍රියාත්මක පද්ධතියක් ස්ථාපනය කිරීමයි. සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල ඉහත ව්‍යාපෘතිය සඳහා සෞදි රියාල් මිලියන 105 (ඇ.ඩො.මිලියන 28) ක සහනදායී ණය මුදලක් ලබාදීමට එකඟ වී ඇත.

මේ අතරම, ශ්‍රී ලංකා රජය එහි දිගුකාලීන සංවර්ධන උපායමාර්ගය තුළ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණය ජාතික ප්‍රමුඛතාවයක් ලෙස හඳුනාගෙන තිබේ. මෙම උපායමාර්ගය හා අනුගත වෙමින් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය විසින් කළු ගඟ වම් ඉවුරු සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා හා කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රදේශයේ වාරී කටයුතු සඳහා ජලය සැපයීම වෙනුවෙන් ක‍ළුගඟ ජලාශය ඉදිකිරීම, ජනරන්ජන වැවෙහි ධාරිතාව වැඩිකිරීම, වාරී ඇළ පද්ධතිය සංවර්ධනය කරමින් කුඩා හා මධ්‍යම පරිමාණයේ වැව් ඒකාබද්ධ කීරීම වැනි ක්‍රියාකාරකම් සිදුකිරීමට සැලසුම් කර තිබේ.මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සෞදි රියාල් මිලියන 168.75 ක (ඇ.ඩො. මිලියන 45) සහනදායී ණය මුදලක් ලබාදීමට සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල එකඟවී ඇත.

මෙම අවස්ථාවට සංවර්ධනය සඳහා වන සෞදි අරමුදලෙහි, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවෙහි, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයෙහි සහ වාරිමාර්ග හා ජලසම්පත් කළමණාකරන අමාත්‍යාංශයෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *