කටාර් හි වෙසෙන ශ‍්‍රී ලාංකිකයින්ගෙන් ජනපතිට පැසසුම්

(කොළඹ, ලංකාපුවත්) –නිහතමානී, සරල නායකයෙකු වූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ අද ශී‍්‍ර ලංකාව ගමන් කරන නිවැරදි මාවත පිළිබඳ තමන් ඉතා සතුටට පත්වන බව කටාර්හි වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් පවසයි.

කටාර්හි දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ කටාර්හි වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් අතර හමුවක් ඊයේ (25) පස්වරුවේ දෝහා නගරයේ දී පැවැත්වුණු අතර එහිදී ඔවුන් මේ බව ප‍්‍රකාශ කළහ.

විවිධ ක්ෂේත‍්‍ර තුළ කටයුතු කරන ශී‍්‍ර ලාංකිකයින් විශාල පිරිසක් මෙම හමුවට එක්ව සිටී අතර ඔවුන් ඉතා උණුසුම් ලෙස ජනාධිපතිතුමාව පිළිගනු ලැබීය.

කුඩා දරුවන්ගේ ඉදිරිපත් කිරීම් රැසකින් ද මෙම අවස්ථාව වර්ණවත් විය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ කුමන අභියෝග සහ බාධා හමුවේ වුවද සමෘද්ධිමත් සහ යහපත් රටක් ගොඩනැගීමට වත්මන් රජය කැපවී සිටින බවයි.

රට තුළ තහවුරු වී ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහසත් සමග ඇතැම් අන්තර්ජාල සහ වෙබ් අඩවි ඔස්සේ ගෙන යන ඉතා වැරදි ප‍්‍රචාරයන් පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ අන්තර්ජාලය ඔස්සේ දකින ශී‍්‍ර ලංකාව සැබෑ ශී‍්‍ර ලංකාවට වඩා බෙහෙවින් වෙනස් බවයි.

නව තාක්ෂණය නිර්මාණය වූයේ මිනිසාගේ යහපත වෙනුවෙන් වුවද එය අයහපත සඳහා භාවිතා කරන ඇතැම් පිරිසක් ඒ ඔස්සේ මාතෘ භූමියේ සැබෑ ප‍්‍රතිරූපය විකෘති කිරීමට උත්සාහ දරමින් සිටින බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

අද වත්මන් රජය විසින් ශී‍්‍ර ලංකාව තුළ ගුණාත්මක දේශපාලන පරිසරයක් නිර්මාණය කර තිබෙන අතර යහපාලන සංකල්පය යටතේ සමාජ, ආර්ථික වෙනස්කම් රැසක් සිදුකරමින් සිටින බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කි‍්‍රයාවලියේදී ඇතැම් පිරිසක් රට තුළ ගෙන යන ඉතා වැරදි ප‍්‍රචාරයන් පිළිබඳව ද ජනාධිපතිතුමා කටාර්හි වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් දැනුවත් කළේය.

තම කටාර් රාජ්‍ය සංචාරය පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ දෙරට අතර ඇතිකරගන්නා නව ගිවිසුම් තුළින් දෙරටේ ආර්ථික, වෙළෙඳ සහ තාක්ෂණික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවයි.

විවිධ ක්ෂේත‍්‍රවල කටයුතු කරමින් මැද පෙරදිග වෙසන සියලු ශී‍්‍ර ලාංකිකයින් මාතෘ භූමියට ලබාදෙන ගෞරවය ද මෙහිදී ජනාධිපතිතුමාගේ සුවිශේෂී ඇගයීමට ලක් විය.

ජනාධිපතිතුමා මැද පෙරදිග කලාපයේ සිදුකරන පළමු රාජ්‍ය සංචාරය සනිටුහන් කරමින් කටාර් රාජ්‍යයට පැමිණීම පිළිබඳව ද එහි වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් තම සතුට පළ කළහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *