අවුකන විහාර භූමිය පවිත්‍ර කරමින් භාවනා කරන ඕස්ට්‍රියානු ඉංජිනේරුවා

(කොළඹ, ලංකාපුවත්) – ඕස්ට්‍රියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ බුදු දහම පිළිබඳව සිත් පහදාගෙන අවුකන රජමහා විහාරයේ නවාතැන් ගෙන අවුකන ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ ඇතුළු විහාර භූමිය සුද්ද පවිත්‍ර කරමින් භාවනානුයෝගීව දිවි ගෙවන ඉන්ජිනේරුවරයකු පිළිබඳව වාර්තාවේ.

ජෝෂප් ප්‍රිට්සර් නමැති ඔහු වෘත්තියෙන් කාර්මික ඉංජිනේරවෙකි. වයස 51 කි. ප්‍රිට්සර් සිය පවුලේ සාමාජිකයන් සමඟ 1988දී (වයස අවුරුදු 29දී) ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි අවස්ථාවක ලංකාවේ සිද්ධස්ථාන වැඳපුදා ගත් බවත් එම අවස්ථාවේ ගලින් නෙළන ලද සුවිශේෂී නිර්මාණයක් වූ අවුකන පිළිම වහන්සේ කෙරෙහි ඔහුගේ සිතේ අතිහය භක්තියක් හටගත් බවත් පවසා තිබේ.

ඉන්පසු බිරිය හා දරුවන් සමඟ කිහිපවතාවක්ම මෙරට සංචාරයේ යෙදී ඇති ඔහු ඒ සෑම අවස්ථාවකදීම අවුකන විහාරයට පැමිණ වැඳපුදා ගෙන විහාරස්ථාන නායක හිමිපාණන් බැහැදැක ආශීර්වාද ලබාගෙන ඇත.

බිරිය සමඟ පසුගිය 2016 වසරේ දෙසැම්බර් මස පැමිණ නැවත එරටට ගොස් ඉන් අනතුරුව 2017 අගෝස්තු මස ඔහු පමණක් ලංකාවට පැමිණ අවුකන රජමහ විහාරාධිපති හිමියන් හමුවී ඇත. උන්වහන්සේගේ අවසර ඇතිව එහි නවාතැන් ගෙන දිනපතා මුළු විහාරස්ථානයම එදා සිටම සුද්ද පවිත්‍ර කිරීමේ නිරතවන්නේ ඔහුය.

පාන්දරින් අවදි වන මොහු අලුයම 06.00 සිට උදෑසන 10.00 දක්වාත් සවස 2.00 සිට රාත්‍රි කාලය දක්වාත් අවුකන ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිරිපිටට වී භාවනා කිරීම පුරුද්දක් කරගෙන තිබේ.

ශ්‍රී ලංකාවට හා බුදු දහමට ආදරය හා ගෞරවය කිරීම සම්බන්ධයෙන් ජෝෂප් ප්‍රිට්සර් මෙසේ පැවැසීය.

“මා ඉපදුණේ යුරෝපීය රටක. මා මුලින්ම පවුලේ උදවිය සමඟ ලංකාවට පැමිණි අවස්ථාවේදී අවුකන පිළිමය දැකීමෙන් අනතුරුව ආධ්‍යාත්මික සිතක් පහළ වුණා. එතැන් සිට මා වරින් වර ලංකාවට පැමිණ එම පිළිම වහන්සේ වැඳපුදා ගන්නවා. ඒ අතරතුරදී මා දුටු එක් දසුනක් තමයි පිළිම වහන්සේ දැකබලා ගැනීමට පැමිණෙන පාසල් ළමයින් හා වැඩිහිටි බැතිමතුන් විහාරස්ථාන භූමිය පොලිතින්, ප්ලාස්ටික් වැනි දේ බැහැර කර අපවිත්‍ර කර යෑම.

ශ්‍රී ලංකාව සුන්දර රටක්. කාලගුණයේ අයහපත් බලපෑම් අවම රටක්. ලෝක උරුමයන් තිබෙන රටක්. ආගන්තුක සත්කාරවලින් ඉහළ රටක්. එවැනි රටක ඉපදී මේ උරුමයන් රැකගැනීමට කැපවන්න කියා මා ලාංකික ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

මෙවර ලංකාවට පැමිණ අවුකන විහාරස්ථානයේ නායක හාමුදුරුවන්ගෙන් අවසර ලබාගත්තා භාවනාවේ යෙදීමට. ඒ අතරතුරේදී විහාරස්ථාන භූමියේ දෛනිකව ගොඩගැසෙන කුණු කසළ ඉවත් කිරීම මා විසින් සිදුකරනවා. එම කාර්යයත් එක්තරා භාවනාවක් හැටියටයි මා දකින්නේ. එය ඉතා අර්ථවත් ක්‍රියාවක්.

මේ පිළිමය අපි සියලු දෙනාගේම වස්තුවක්. මේ වසර අවසානයේදී මා මාගේ රටට යෑමට බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒත් ජීවිත කාලය පුරා අවස්ථාවක් ලැබෙන සෑම විටකදීම අවුකන විහාරස්ථානයට පැමිණ වන්දනාමාන කර සුද්ද පවිත්‍ර කටයුතු කිරීමට මා කැපවී සිටිනවා”

වසර ගණනාවක සිට නිරතුරුවම අවුකන එන මෙම ශ්‍රද්ධාවන්ත විදේශිකයා මේ වන විට අවුකන අවට ජනතාවට අමුත්තකු නොවේ. එහෙයින්ම ගැමියන් අද ඔහු අමතන්නේ “අවුකන සුද්දා” නමැති ආදරණීය අන්වර්ත නාමයෙනි.

 

(අනුරාධපුර – මහේෂ් විජේසූරිය )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *