විශේෂ දක්ෂතා ඇති ආබාධ සහිත දරුවන් රජයේ රැකියාවලට

‍(කොළඹ, ලංකාපුවත්) –ආබාධ සහිත වූවන් ඉගෙනීමේ හා විශේෂ දක්ෂතා දක්වන දරුවන් රජයේ රැකියා සඳහා බඳවා ගැනීමට විශේෂ කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තමන් බලාපොරොත්තු වන බව සමාජ සවිබලගැන්වීම් සුභසාධන හා කඳුරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.

ඇමතිවරයා එසේ පැවසුවේ ඊයේ (25) බත්තරමුල්ල අපේ ගමේදී පැවති අන්තර්ජාතික සුදු සැරයටි සුරක්ෂා දිනය සැමරුම් උත්සවය අමතමිනි.

රජයේ තනතුරු සඳහා බඳවා ගැනීමට පවත්වන තරඟ විභාග වලදී අවම ලකුණු ලබා ගන්නා ආබාධ සහිත අය එම රුකියා වලට බඳවා ගැනීම සඳහාද විශේෂ කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද ඇමතිවරයා සඳහන් කළේය.

දෘෂ්‍යාබාධිතයින් විශාල පිරිසක් සහභාගී වූ අනතර්ජාතික සුදුසැරයටි සුරක්ෂා දින පාගමන අද පෙරවරුවේ ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර පාගමනින් පසු අපේ අපේ ගමේ ඇති රංග ශාලාවේදී උත්සවය පැවැත්විණි.

උත්සවය දෘෂ්‍යාබාධිත දරුවන්ගේ විශේෂ වාදන , නැටුම් හා ගැයුම් වලින් වර්ණවත් වූ අතර දෘෂ්‍යබාධිත ලෝක ශූරතා ක්‍රිකට් පිල හා ජාතික තරඟ විභාග වලදී විශේෂ දක්ෂතා දැක්වූ දෘෂ්‍යාබාධිත දරුවන් මෙහිදී විශේෂ ඇගයීමකට ලක් කෙරිනි.

මෙම උත්සවය සමාජ සේවා දෙපාර්තමේන්තුව හා දෘෂ්‍යාබාධිත පුනරුත්ථාපන අරමුදල එක්ව සංවිධානය කෙරිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *