(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ මෙතෙක් භාවිත කෙරුණු පැරණි ජාතික හැඳුනුම්පත වෙනුවට නවීන තාක්ෂණයෙන් යුතු හැඳුනුම් පත් නිකුත් කිරීම අද (27) ආරම්භ විය.
මෙම නව ජාතික හැඳුනුම් පත ‘සුහුරු කාඩ්පතක්’ (Smart Card)ලෙස නිමවා ඇත.
පැරණි හැඳුනුම්පත් ඉලක්කම් දහයකින් සමන්විත වූ නමුත් නව ජාතික හැඳුනුම්පත ඉලක්කම් දොළහකින් යුක්ත වෙයි.
එසේම එය ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (International Civil Aviation Oganisation – ICAO) ප්‍රමිතියෙන් යුතු ඡායාරූපයකින් සහ යන්ත්‍රානුසාරයෙන් කියවිය හැකි තීරු ඛේත (Barcode) ක්‍රමයකින් සමන්විතය.
හැඳුනුම්පත් ලාභියාගේ නම, උපන් ස්ථානය, ලිපිනය හා ස්ත්‍රී/පුරුෂභාවය ආදී තොරතුරු සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම නව හැඳුනුම්පතෙහි මුද්‍රිත අකුරින් දැක්වෙන අතර, එම තැනැත්තාගේ හෝ තැනැත්තියගේ අත්සන ද ඊට ඇතුළත් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
මෙම ‘සුහුරු’ කාඩ්පත ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් හැඳුනුම්පතක් සඳහා අවශ්‍ය කෙරෙන ප්‍රමිතියට අනුකූල වන අතර, එමඟින් මහජනතාවට ඉතා පහසුවෙන් හා කඩිනමින් තම සේවා අවශ්‍යතා ඉටු කර ගැනීමේ හැකියාව පවතින බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නව ජාතික හැඳුනුම් පත් ව්‍යාපෘතියේ අධ්යක්ෂ ජානක අමරසිංහ පවසයි.
අලුතින් නිකුත් කෙරෙන නව ජාතික හැඳුනුම් පත් භාවිතයට පැමිණීමත් සමඟ මෙතෙක් භාවිත කළ හැඳුනුම්පත් අවලංගු නොවන බවත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2017 ඔක්තෝම්බර් 27 දින පටන් තමන් වෙත යොමු කරන ඉල්ලුම් පත් සඳහා පමණක් නව මාදිලියේ ජාතික හැඳුනුම් පත් ලබා දීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුව කියා සිටී.
මෙම නව විද්‍යුත් ජාතික හැඳුනුම්පත් හඳුන්වා දීමේ සැලසුමට අමතරව වයස අවුරුදු පහළොවට වැඩි, මිලියන 16.5ක් පමණ වූ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ දත්ත සහිත ජාතික පුද්ගල නාමලේඛනයක් සකස් කිරීම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ තවත් සැලසුමකි.
එම ජාතික නාම ලේඛනය සකස් කිරීමෙන් අනතුරුව, වයස අවුරුදු 15ට වැඩි සියලු ශ්‍රී ලාංකිකයන් විසින් දැනට භාවිත කරනු ලබන හැඳුනුම්පත් වෙනුවට විද්‍යුත් හැඳුනුම්පත් සැපයෙනු ඇත.
ජාතික නාම ලේඛනය සකස් කිරීම අවසන් වූ පසු අලුතින් හඳුන්වා දෙනු ලබන හැඳුනුම් පතට ඇඟිලි සලකුණු ද ඇතුළත් කරමින් තවත් වැඩිදියුණු කළ විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් හඳුන්වා දීම ඊලඟ පියවරයි.
මෙම ව්‍යාපෘතිය හරහා රැස්කරන තොරතුරු මගින් ඉදිරියේ දී ජනතාවගේ පෞද්ගලිකත්වයට හානියක් සිදු විය හැකි බවට ඇතැම් පාර්ශ්ව සැක පළ කරන අතර, විශේෂයෙන්ම දත්ත ගබඩාවට එක්රැස් කරන තොරතුරු ගැන මෙන්ම එම තොරතුරුවල ආරක්ෂාව ගැන බරපතළ ගැටලු ඇති බව ඔවුහු පෙන්වා දෙති.
දැනට පවතින පුද්ගල තොරතුරු වලට (නම, ලිපිනය, උපන් දිනය ආදිය) අතිරේකව පවුලේ විස්තරත්, විවාහය /දික්කසාද වැනි තොරතුරුත් ජෛවමිතික ලක්ෂණ ද (biometric data) ජාතික පුද්ගල නාමලේඛනයට ඇතුළත් කෙරෙනු ඇත.
“හැඳුනුම්පත නොවෙයි ප්රශ්නය. අපේ ජීවිතයේ සියලු තොරතුරු ටික එක දත්ත ගබඩාවකට රැස් කිරීමයි ප්රශ්නය” ගණකාධිකාරිවරයෙකු හා සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වන රවී රත්නසභාපති බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පෙන්වා දුන්නේය.
“ඒ මතයේ කිසිම සත්‍යතාවක් නැහැ. එකක් කිව යුතුමයි, තමන්ගේ නියම අනන්‍යතාව හෙළි කරන්න අකමැති අය මේ සඳහා විවිධ මත පළ කරන්න පුළුවන්” පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අදාළ ව්‍යාපෘති අධ්යක්ෂ ජානක අමරසිංහ ඉහත කී අදහසට ප්‍රතිචාරය පළ කරමින් කියා සිටී.