රුවන්පුර, මොරටුව සහ වයඹට නව වෛද්‍ය පීඨ තුනක්

(කොළඹ, ලංකාපුවත්) –රුවන්පුර, මොරටුව සහ වයඹ නව වෛද්‍ය පීඨ තුනක් ලබන වසරේ රජය විසින් ආරම්භ කරන බව  උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඇමතිවරයා මෙම අදහස් පල කලේ කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනය මගින් 05වන වරට සංවිධානය කරන ආයුර්වේද සිද්ධ යුනානි හා පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ තෙදින ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක අවස්ථාවට අද(27) එක් වෙමිනි.

රාජගිරිය,දේශීය වෛද්‍ය විද්‍යායතනයේදි අද සිට තෙදිනක් පුරා පැවැත්වෙන මෙම ජාත්‍යන්තර සමුළුවෙහි පළමු දිනය ආයුර්වේද වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණ එළිදැක්විම, දෙවන දිනය දේශීය සිද්ධ යුනානි පර්යේෂණ ඉදිරිපත් කිරිම, තෙවන දිනය ආයුර්වේද පශ්චාත් උපාධිධාරින්ගේ පර්යේෂණ එළිදැක්විමද සිදුකිරිමට නියමිතය. ආයුර්වේද වෛද්‍ය විෂය සම්බන්ධ රැකියා පොළක් ද අවසන් දිනයේදි පැවැත්වේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“රජය නිදහස් අධ්‍යාපනය කඩාකප්පල් කරනවා කියලා විවිධ කටකතා ඇතමුන් පතුරවමින් යනවා. නමුත් මම පැහැදිලිවම කියනවා, අපේ රජය නිදහස් අධ්‍යාපනය නැති කරන්න ඉඩ තියන්නේ නැහැ කියලා. එහෙම කිසිඳූ බලාපොරොත්තුවකුත් නැහැ. මේ රටේ නිදහස් අධ්‍යාපනය ආරම්භ කලේ සී.ඩබ්.ඩබ්.කන්නංගර මැතිතුමාගේ කාලේ. රජය තව තවත් නිදහස් අධ්‍යාපනය වර්ධනය කරනවා මිස, කිසිම දවසක නිදහස් අධ්‍යාපනය දියාරු කරන්න හෝ විනාශ කරන්න කටයුතු කරන්නේ නැහැ. රුවන්පුර, මොරටුව සහ වයඹ නව වෛද්‍ය පීඨ තුනක් ලබන වසරේ රජය විසින් ආරම්භ කරනවා. නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන ගමන් පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රමිතිය ආරක්ෂා කරමින් ඉදිරියට ගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම විශ්ව විද්‍යාලවල ප්‍රමිතිය ආරක්ෂා කරන්න අළුත් පනතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගේනවා. රාජ්‍ය විශ්ව විද්‍යාලවල පමණක් නෙවෙයි, පෞද්ගලික විශ්ව විද්‍යාලවලත් ප්‍රමිතිය ඉදිරියේදී ගෙන එන පනත මඟින් ආරක්ෂා කරනවා.”

සමුළුවේ සමාරම්භක අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සින්ග් සන්ධු මහතා, ආයුර්වේද විෂය සම්බන්ධ ආචාර්ය මහාචාර්යවරු ඇතුළුව ආයුර්වේද පශ්චාත් උපාධි හදාරන විදේශීය සිසුන් විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *