නව නිර්මාණකරණයේ විශිෂ්ඨයින් ‘දසිස්’ සම්මානයෙන් පිදුම් ලබයි

(කොළඹ, ලංකාපුවත්) – ජාතික නව නිපැයුම්කරුවන්ගේ දිනය සැමරුම් උළෙල විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝම්බර් 26වනදා බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

මෙරටින් බිහි වූ අග්‍රගණ්‍ය විද්‍යාඥයෙකු, නව නිර්මාණ ශිල්පියෙකු මෙන්ම ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ ප්‍රථම කොමසාරිස් ධූරයද හෙබවූ ඉංජිනේරු ඒ.එන්.එස්. කුලසිංහ මහතාගේ ජන්ම දිනය වන ඔක්තෝම්බර් මස 26 දින එතුමන්ට කරන ගෞරවයක් ලෙස මෙරට ජාතික නව නිපැයුම්කරුවන්ගේ දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

සැමරුම් උළෙල නව නිපැයුම්කරුවන්ගේ උන්නතිය වෙනුවෙන් වූ විශේෂ අංග රාශියකින් සමන්විත වූ අතර සහසක් නිමැවුම් – 2017 ජාතික නව නිර්මාණ ප්‍රදර්ශනයේදී ජයග්‍රහණය කළ විශිෂ්ඨ නිර්මාණකරුවන් ඇගයීම මෙහි ප්‍රධානම අංගය බවට පත් විය.

තරඟකාරී ජාත්‍යන්තර වෙළඳපළ තුළ උරෙන් උර ගැටී තරඟ කරමින් සංවර්ධිත රටක් ලෙස මතුවීමට නම් නව පර්යේෂණ හා සොයාගැනීම් මත ගොඩනැගෙන නව දැනුම සහ නවෝත්පාදනයන් මත පදනම් වන ආර්ථිකයක් නිර්මාණය කර ගත යුතුය. එම කාර්යයේදී දේශීය නව නිර්මාණකරුවාට හිමි වන්නේ සුවිශේෂි වැදගත්කමකි. එබැවින් එම විෂය භාර අමාත්‍යංශය ලෙස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය සහ රට තුළ නව නිපැයුම් දිරිගැන්වීමේ බලාත්මක ආයතනය ලෙස ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් නව නිර්මාණකරුවා ඉහළට ඔසවා තබමින්, ඔවුන් තුළ නිර්මාණශිලී හැකියාවන් ප්‍රවර්ධනය කිරීමට විවිධ දිරිගැන්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

එහි එක් පියවරක් ලෙස නව නිර්මාණශිල්පීන් සඳහා ජාතික පිළිගැනීමක් ලබා දීමේ අරමුණ ඇතිව සහසක් නිමැවුම් ප්‍රදර්ශනය සහ තරඟාවලිය සංවිධානය කරන අතර මේ වසරේ පැවති තරඟාවලියේදී ජයග්‍රහණය කරන ලද විශිෂ්ඨ නිර්මාණකරුවන් ඇගයීම ජාතික නව නිපැයුම්කරුවන්ගේ දිනයේදී සිදු විය.

ක්ෂේත්‍ර 14ක් ඔස්සේ පාසල්, විවෘත සහ වාණිජකරණය කරන ලද අංශ යටතේ ජයග්‍රහණය කළ නිර්මාණකරුවන් ඇගයීම මෙහිදී සිදු කෙරිණි.

සම්මාන ප්‍රදානයේදී, පාසල් අංශයේ විශිෂ්ඨ නිර්මාණකරුවා ලෙස කැළණිය ගුරුකුල විද්‍යාලයේ ජී. ඩබ්ලිව්. තිමිත් නවෝද්‍ය (Rolls Machine) සිසුවා කණිෂ්ඨ දසිස් සම්මානයෙන් පිදුම් ලැබූ අතර, ඉන්දියානු නවෝත්පාදකයින්ගේ සංගමයේ සහ ඉන්දුනිසියානු නවෝත්පාදන සංගමයේ විශේෂ සම්මාන දෙකක් ද ඔහුට හිමිවිය. විවෘත අංශයේ විශිෂ්ඨතම නිර්මාණකරුවා ලෙස වෛද්‍ය බී.ඩබ්ලිව්.කේ.එම්.බෝපැත්ත මහතා (Accessory Device of Nebulization for Intubated Patients), සහ වාණිජකරණය කරන ලද නිර්මාණ අංශයේ විශිෂ්ටතම නිර්මාණකරුවා ලෙස ප්‍රින්ස් චන්ද්‍රෙස්න මහතාද (Dipping Cooler) දසිස් සම්මානයෙන් පිදුම් ලැබීය. බී.ඩබ්ලිව්.කේ.එම්.බෝපැත්ත මහතා වෙත ලෝක නව නිපැයුම් බුද්ධිමය දේපල සංගමයේ විශේෂ සම්මානයක් ද හිමිවිය.

සහසක් නිමැවුම් සම්මාන ප්‍රදානයට අමතරව, නව නිර්මාණ ශිල්පීන් සඳහා තමන්ගේ පර්යේෂණ කටයුතු සහ අධ්‍යයන කටයුතු සිදුකර ගැනීමට පහසුකම් සලසන නියමු පර්යේෂණාගාර 3ක් ඉදි කිරිමේ සහ නවෝත්පාදන ප්‍රවර්ධනය සඳහා මූල්‍යාධාර සැපයීමේ යාන්ත්‍රණය පිහිටුවීමේ සමාරම්භය සනිටුහන් කිරිමද මෙහිදි සිදුවිය. එම නියමු පර්යේෂණාගාර ඉදිරියේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලය, යාපනය විශ්ව විද්‍යාලය, සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය යන ස්ථාන වල ස්ථාපිත කිරීමට යෝජිතය.

මෙහිදී උත්සව සභාව ඇමතූ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේ පැවසීය.

“කවුරු අපේ රටේ බලයේ සිටියද ජයගත යුතු යථාර්තයක් තියෙනවා. එනම් සංවර්ධිත රටවල් සහ අප අතර තිබෙන තාක්ෂණික පරතරය පියවා ගැනිමයි. එම තාක්ෂණික පරතරය පියවා ගැනිමට නම් අපේ මානව සම්පත, අපේ ස්වාභාවික සම්පත් නිසි ලෙස ප්‍රයෝජනයට ගෙන නවෝත්පාදයන් ඇතිකිරීමත් එම නවෝත්පාදනයන් තරඟකාරී ලෙස ජාත්‍යන්තර වෙළඳපොළට ගෙනයාමත් කළයුතුයි.

විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ පර්යේෂණ හරහා අපේ නිෂ්පාදන වලට අමතර අගයක් එකතු කිරිමත් ඒවායේ ගුණාත්මක තත්වය දියුණු කිරීමත් අවශ්‍යයි. ඒ සඳහා රටේ දළ දේශිය නිෂ්පාදනයෙන් 1% ක් පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා වෙන්කළ යුතුයි. විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා අපේ අමාත්‍යංශයට නිවැරදි දැක්මක් සහ සැලසුම්ගත වැඩපිළිවෙළක් තිබෙනවා. ඒ ඉලක්කයට අපි ගමන් කරනවා”

මෙම අවස්ථාවට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න, අමාත්‍යාංශ ලේකම් උදය සෙනෙවිරත්න, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහේෂ් එදිරිසිංහ යන මහත්වරුන්, රාජ්‍ය නිලධාරින්, නව නිපැයුම්කරුවන් සහ පාසල් සිසුන් ඇතුළු විහාල පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *