(කොළඹ, ලංකාපුවත්) –පැණිබීමවල සීනි ප්‍රමාණය අවම කිරිම සඳහා නව වැඩපිළිවළෙක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
සීනි පරිභෝජනය අවම කිරිම සඳහා පැණිබීම වර්ගවල ග්‍රෑම් 06ට වඩා සීනි තිබේනම් සෑම ග්‍රෑමයකටම රුපියලක බද්දක් අය කරන බව අමාත්‍යවරයා කියා සිටියේය. ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අනුමැතිය හිමිව ඇති බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ 2017 හෙද ඩිප්ලෝමා ප්‍රධානොත්සවයට අරලියගහ මන්දිරයේ දී ඊයේ (29) සහභාගී වෙමිනි. එහිදී හෙද හෙදියන් 1400 කට සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් ඩිප්ලෝමා ප්රදානය කෙරුණි.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
“ඔබ සැම අහිංසක රෝගීන්ට හොදින් සත්කාර කළ යුතුයි. දයාවෙන් අනුකම්පාවෙන් රැකබලා ගත යුතුයි. අපේ රටේ හොද හෙද සේවාවක් තිබෙනවා. උපාධිධාරීන් 2,000 ක් පුහුණු කළ හැකි හෙද පීඨය ජයවර්ධනපුර රෝහල් භුමියේ ඉදිකරනවා. දල දේශීය නිෂ්පාදනයෙන් සෞඛ්‍ය සේවාවට හා අධ්‍යාපනයට විශල මුදලක් වැය කරනවා. 2016 වසරේ දී සෞඛ්‍ය සේවාවට පමණක් රුපියල් බිලියන 235 ක මුදලක් වෙන් කළා. රටේ ජාතික ආරක්ෂාවට පසු වැඩිම මුදලක් වෙන් කරන්නේ අධ්‍යාපනයට හා සෞඛ්‍යයටයි. පසුගිය රජය සමයේ යටිතල පහසුකම් වර්ධනය කළත් මානව සම්පත දියුණු කළේ නැහැ. වත්මන් රජය යටතේ මානව සම්පත දියුණු කිරීම අපගේ ඉළක්කයක්. සෞඛ්‍ය සේවාව වෙනුවෙන් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීම, අක්ෂි කාච සහ ස්ටෙන්ස් නොමිලේ ලබාදීම. පිළිකා රෝගීන්ට පනවා තිබූ සීමා ඉවත් කිරිම වැනි සහන රැසක් ලබා දී තිබෙනවා. නමුත් අද පොල් ගෙඩියේ මිල සහ පරිප්පු කිලෝ එකේ මිල ගැන තමයි කථා කරන්නේ. නිරෝගීකම ගැන කවුරුත් කථා කරන්නේ නැහැ. “ආරෝග්‍යා පරමා ලාභා” යනුවෙන් බුදුරජාණන් වහන්සේ ද දේශණා කර තිබෙනවා. සෞඛ්‍ය සේවාව වෙනුවෙන් කොතරම් සේවාවක් ඉටු කළත් මාධ්‍ය මගින් පෙන්වන්නේ අඩුපාඩුම පමණයි. අක්ෂි කාච මිල අඩු කිරීම, ස්ටෙන්ස් මිල අඩු කිරිම වැනි දෑ පිළිබදව ලබා දෙන්නේ අඩු ප්‍රචාරයක්. නැහැ, බැහැ වචන දෙක අපේ මාධ්‍යයේ ප්‍රධාන වචන දෙකක් වෙනවා. කිසියම් පුද්ගලයෙකු විවේචනය කිරීම, වැරදි ප්‍රකාශ කිරීම, මාධ්‍ය මගින් ලොකු ප්‍රචාරයක් ලබාදෙනවා. කිසියම් පුද්ගලයෙකුගේ හොද ප්‍රකාශ කිරීම ප්‍රවෘත්තියක් නොවෙයි. පිළිකා රෝග සදහා ගෙන ආ එන්නතක් පිළිබදව පුවත්පත්වල මුල් පිටුවේ පළ කෙරුනා. නමුත් පිළිකා එන්නත් වල මාෆියාව පිළිබදව හෙළි කරන විට එය පුවත්පත් වල පළ වුනේ නැහැ.”
“යහපාලන රජය විසින් ඖෂධ වර්ග 48 ක මිල අඩු කර තිබෙනවා. ඖෂධ සමාගම් තානාපති කාර්යාල එම වැඩපිළීවෙලට බලපෑම් එල්ල කළා. නමුත් ජනතාව වෙනුවෙන් තීන්දු තීරණ ලබාගත්තා. රජය පොරොන්දු වූ සහන ජනතාවට ලබාදෙනවා. අපේ රජයේ දුර්වල තැන් කිහිපයක් සොයාගෙන සමහරු කෑ ගහනවා. පසුගිය රජය සමයේ දුෂණ වංචා සිදු කරපු අය තමයි මෙහෙම කෑ ගහන්නේ. විවේචනය කරන්නේ. පසුගිය රජය සමයේ ජනතා සේවාවන් කිරීමට ඔවුන්ට නොහැකි වුනා. නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කළ යුතුයි. ඖෂධ සමාගම් සමග මම සටන් කරනවා. ඒ ජනතාව වෙනුවෙන්. ඖෂධ සමාගම් විතරක් නොවෙයි දුම්කොළ සමාගම් ද මා සමග විරුද්දයි. දුම්බීම සියයට 46 කින් අඩු වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා දුම්බීම අවම කිරිම සදහා එම සංවිධානය ක්‍රියාත්මක කළ වැඩපිළිවෙලට වඩා මම ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල ප්‍රායෝගිකයි කියලා.”
“සියලුම පැණිබීම වර්ග වලට වර්ණ සංකේත ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා ඒ ජනතාව සීනි පරිභෝජනයෙන් අවම කර ගැනීම සදහායි. රෝහල්වල මියයන පුද්ගලයින්ගෙන් සියයට 70 ක් මිය යන්නේ බෝනොවන රෝගවලින්. ඉදිරියේ දී සීනි පරිභෝජනය අවම කිරීම සදහා පැණිබීම වර්ග වල ග්‍රෑම් 6ට වඩා සීනි තිබෙන්නේ නම් සෑම ග්‍රෑමයකටම රුපියලක බද්දක් අය කරනවා. ඒ සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අනුමැතිය හිමිව තිබෙනවා.”
මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද අංශයේ අධ්යක්ෂවරුන්, හෙද විද්‍යාලවල විදුහල්පතිවරුන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.