වාරි ව්‍යාපෘති ආශි‍්‍රතව සංචාරක කලාප

(කොළඹ, ලංකාපුවත්) – සෑම වාරි ව්‍යාපෘතියක් ආශ‍්‍රිතවම සංචාරක කලාප පිහිටුවීමේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

පුත්තලම තබ්බෝව ජලාශය හා පොල්පිතිගම හක්වටුනාඔය යන ව්‍යාපෘති ආශි‍්‍රතව එම කර්මාන්ත ආරම්භ කරමින් නියමු ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කරන බව ඔහු කියා සිටියේය. වී අස්වැන්න නෙලීම වසරකට දෙවරක් පමණක් සිදු වන බැවින් ජනාතාවට ආදායම් ලැබෙන තවත් ව්‍යාපෘති වෙත අවතීර්ණ වීමට අවස්ථාව උදා කළ යුතු බවද අමාත්‍යවරයා පැවසීය.

කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ පොල්පිතිගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාහයට අයත් ප‍්‍රධාන වාරි ව්‍යාපෘතිය වන්නේ හක්වටුනාඔය ව්‍යාපාරයයි. එහි ඉදිකිරීම් පිලිබඳ ප‍්‍රගතිය විමසා බැලීම වෙනුවෙන් එම ගොවිජනපදයේ දී පසුගියදා (27 ) පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා ඉහත කාරණය පැහැදිලි කළේය.

හක්වටුනාඔය වැවේ සමස්ථ ජලධාරිතාව අක්කර අඩි 19727 කි. මෙම ව්‍යාපාරයෙන් යැපෙන සමස්ථ ජනගහනය 25000 ක් ලෙස ගණන් බලා තිබේ. මෙම ජලාශයෙන් විහිදී යන ඇල මාර්ග දෙකකි. එමගින් ජලය සැපයෙන ගොවි බිම් ප‍්‍රමාණය අක්කර 6500 කි. ව්‍යාපාරයට අයත් ගොවි සංවිධාන ගණන 13 කි.

ඉතිහාසයට අනුව හතරවන මහසෙන් රජු විසින් දැදුරුඔය නිම්නය උපයෝගී කර ගනිමින් හක්වටුනාඔය වැව ඉදිකරන ලද බව සඳහන් වෙයි. කෙසේ වෙතත් මෑත කාලය වන විට එම වාරි ව්‍යාපෘතිය අඩපණ වී ඇත්තේ කිසිදු ප‍්‍රතිසංස්කරණයකට භාජනය නොවීම නිසාවෙනි. මේ හේතුවෙන් කුඹුරු වගාව අතහැර දැමීමත් ගොවි ජනතාව වඩාත් පීඩාවට පත්වීමත් වැනි අයහපත් තත්ත්වයන් ඇති වී තිබිණ. කෙසේ වෙතත් වත්මන් රජය බලයට පත් වීමත් සමග මෙම වැව නැවත ප‍්‍රතිසංස්කරණය කිරීමට කටයුතු සම්පාදනය කෙරිණ. ඒ අනුව ලෝක බැංකු ආධාර යටතේ ලැබුණු රුපියල් මිලියන 540 ක මුදලක් යොදමින් එම ප‍්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතී.

මේ පිළිබඳ පැවැති සාකච්ඡාවේදී අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේ වාරි ව්‍යාපෘති ආශී‍්‍රතව සංචාරක කලාප ඇති කිරීමේ කි‍්‍රයාවලියට මූලිකත්වය ලබා දෙන බවයි. ගමේ මුදල් පිටතට යනවා සේම ගමටද මුදල් ඇදී එන ක‍්‍රමවේද සකස් කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය. නියමු ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමෙන් අනතුරුව අනෙකුත් වාරි ව්‍යාපෘති ආශී‍්‍රතවද සංචාරක පාරාදීස ඇති කිරීමට පියවර ගන්නා බවයි ඔහු කියා සිටියේය.

මේ අතර ගොවි ජනපද වෙත පළතුරු, එළවලූ හා ඹෟෂධ වගා කිරීමේ ව්‍යාපෘතියක් හදුන්වා දීමට ද නියමිතයි. මෙම වගාවන් සිදු කිරීමට ගොවි ජනතාව උනන්දු වන්නේනම් ගැණුම්කරුවන් හදුන්වා දීමටත් භාණ්ඩ මිලදී ගන්නා මධ්‍යස්ථාන ගොවිජනපද ආශි‍්‍රතව පිහිටුවීමටත් පියවර ගත හැකි බවද අමාත්‍යවරයා කියා සිටියේය.එමෙන්ම වී වගාවට අමතරව එවැනි වගාවන් ආරම්භ කිරීමට අපේක්‍ෂා කරන ගොවි ව්‍යාපාර ඇත්නම් ඒ පිළිබඳ තම අමාත්‍යංශයෙන් කරුණු විමසා පහසුකම් ලබා ගත හැකි බව පාලිත රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසුවේය.

වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කපිල ජයසේකර මහතා ඇතුළු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා ගොවි සංවිධාන නියෝජිතයින් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *