නව ව්‍යවස්ථාව ගැන අවසන් තීරණයක් නැහැ – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –නව ව්‍යවස්ථාව සහ ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳව ඇතැමුන් මේ දිනවල සාකච්ඡා කරන නමුත් නව ව්‍යවස්ථාවක් පිළිබඳව අප තවමත් අවසාන තීරණයක් ගෙන නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා පැවසීය.

තවමත් එහි සකසා තිබෙන්නේ ව්‍යවස්ථාව පිළිබඳව සියලු දේශපාලන පක්‍ෂවල අදහස් ලබාගන්නා ලද නීතිමය භාවයක් නොමැති ලියවිල්ලක් පමණක් බවත් ඒ තුළ විවිධ අදහස් තිබෙන බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.

නව ගම්මාන නිවාස යෝජනා ක්‍රමය යටතේ නිරවුල් ඔප්පු 2864 ක් ප්‍රතිලාභින් වෙත ප්‍රදානය කිරීමේ උත්සවය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(29) හැටන්, “ඩන්බාර්” ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. එහිදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර එම කතාව පහත සඳහන් වේ.

“අපේම ඉඩම – අපේම නිවස” සංකල්පය යටතේ මේ ප්‍රදේශයේ පවුල් 700 කට අද සිය ඔප්පු හිමිකම් ප්‍රධානය කරනවා. මේ වැඩසටහන යටතේ 2600ක් පමණ වන වතුකරයේ සමස්ත ජනගහණයටම ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රධානය කිරීම ඉදිරියේදී සිදු කිරීමට නියමිතයි. මේ සඳහා පලනි දිගම්බරම් ඇමැතිතුමාට අපි විශේෂයෙන්ම ස්තූතිවන්ත විය යුතුයි. වතුකරයේ ජනතාවට ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රධානය කිරීම වසර 20 කට 30 කට පසු සත්‍ය ලෙසම ක්‍රියාවට නැංවූ අමාත්‍යවරයෙකු සිටීම පිළිබඳව මම සතුටු වෙනවා.

ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේදී සහ ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමන්ගේ කාලයේදී මම එවකට අමාත්‍යවරයෙකුව සිටි එස්. තොණ්ඩමන් ඇමැතිතුමා සමග මේ ප්‍රදේශයට පැමිණ වතුකරයේ ජනතාවට ඉඩම් ලබාදීම පිළිබඳ කටයුතු ආරම්භ කළා. නමුත් ඉන්පසුව අපට ආණ්ඩු බලය අහිමිවී ගියා. විවිධ ආණ්ඩු යටතේ විවිධ ඇමැතිවරුන් පත් වුණා. ඉඩම් සහ නිවාස ලබාදෙන බව ජනතාවට පැවසුවත් ඔවුන් කිසිදු ඉඩමක් හෝ නිවසක් ලබාදුන්නේ නැහැ.

නමුත් මෙවර පලනි දිගම්බරම් ඇමතිතුමාට කඳුකර යටිතල පහසුකම් දියුණු කිරීමේ අමාත්‍යංශය භාරදීමට අපි කටයුතු කළා. අවුරුදු 20 කට පමණ පසු මේ ප්‍රදේශයේ ජනතාවට ඉඩම් හා නිවාස ලබාදීමට හැකි අමාත්‍යවරයෙකු ලෙස මා දැන් එතුමාව හඳුනාගෙන සිටිනවා. ඉදිරියටත් මෙම වැඩකටයුත්ත සිදු කර ගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා.

පළමු වතාවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙහි පැමිණි අවස්ථාවේ පලනි දිගම්බරම් ඇමැතිතුමා මේ ප්‍රදේශයේ ජනතාවට නිවාස ලබාදීමට ගෙන ඇති ක්‍රියාමාර්ග අපි එතුමාට පැහැදිලි කළා. එම වැඩකටයුතු පිළිබඳ පැහැදුණු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කඳුකරයේ ජනතාව වෙනුවෙන් තවත් නිවාස දස දහසක් ඉදිකරදීමට කැමැත්ත පළ කළා. අද වන විට ශ්‍රී ලංකා රජය යටතේ නිවාස 5000 ක් මෙහි ඉදිකර තිබෙන අතර, ඉන්දීය රජය පොරොන්දු වූ නිවාස දස දහස ද ඉදිරියේදී ඔබට ලබාදෙන බව මම කියන්න කැමැතියි.

වතුකරයේ ජනතාවට නිවාස ගැටළුව විස¼දා දීමෙන් පමණක් අපට සැහීමකට පත් විය නොහැකියි. මා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කාලයේ වතුකරයේ පාසල් රජයට පවරා ගැනීම සිදු කළා. ඒ අනුව වර්තමානයේ වතුකරයේ දරුවන්ට අධ්‍යාපනය හැදෑරීම සඳහා පාසල් තිබුණත් උසස් පෙළ අංශයෙන් විද්‍යා විෂයන් ආදිය හැදෑරීමට අවශ්‍ය පහසුකම් තවමත් නැහැ. එම නිසා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ධූරය වී. රාධා ක්‍රිෂ්ණන් අමාත්‍යතුමාට භාරදුන්නේ වතුකරයේ පාසල්වලට උසස් පෙළ අංශයෙන් විද්‍යාව හා අනෙකුත් විෂයන් හැදෑරීමට අවශ්‍ය පහසුකම් සලසාදීමටයි.

වතුකරයේ ජනතාවට නිවාස ලබාදීම අපේ රජය යටතේ සීමා කර නැහැ. එම වැඩසටහන මේ ප්‍රදේශයේ අනෙක් වතු ගම්මාන දක්වාත් ව්‍යාප්ත කිරීමට පියදාස මන්ත්‍රීතුමා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටිනවා.

ගයන්ත කරුණාතිලක අමාත්‍යතුමා මෙම අමාත්‍යංශය භාරගැනීමෙන් අනතුරුව දිවයින පුරා ජනතාවට ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන ආරම්භ කළා. මේ ආකාරයට ජනතාවට ඉඩම් ඔප්පු සහ නිවාස ලබාදීමට අපට හැකියාව ලැබුණේ ඒ අනුවයි. මේ හරහා සියලූම දෙනාට තමන්ගේ ඉඩමට හිමි රජයෙන් ලබාදෙන ලද ඉඩම් ඔප්පුවක් හිමි වෙනවා. ඉදිරියේදී කරදරයකින් බාධාවකින් තොරව ඔබට ඔබේ ඉඩම බුක්තිවිඳීමේ හැකියාව ලැබෙනවා.

ගාල්ල ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක මෙවැනි උත්සව ගණනාවකට මා සහභාගී වුණත් අද දිනය ඉතා වැදගත් දිනයක් ලෙස හැදින්විය හැකියි. මේ රටේ බිම් අගලකවත් හිමිකමක් නොතිබුණු ජනතාවට ඉඩම් ඔප්පු ලබාදීම සිදු වන්නේ මෙහිදීයි. අද දිනයේ ඇති විශේෂ වැදගත්කම එයයි.

සිරිමා – ශාස්ත්‍රී ගිවිසුමට අනුව 1986 දී වතුකරයේ ජනතාවට ඡන්ද අයිතිය හිමි වුණා. එදා මෙම ජනතාවට පුරවැසි භාවයත්, ඡන්ද අයිතියත් හිමිව තිබුණත් ඉඩමක් හිමි වුණේ නැහැ. නිවසක හිමිකාරිත්වයක් නොතිබූ ඔවුන් වතු නිවාසවල ඉපදී ඒවායේම මිය ගියා. නමුත් අද රටේ අනෙක් සෑම පුරවැසියෙකුට මෙන්ම තමන්ට හිමි නිවසක් හා ඉඩමක අයිතිය ඔබට ලැබී තිබෙනවා. අපේ ආණ්ඩුව යටතේ ඒ වැඩපිළිවෙළ දිවයින පුරාම ඉදිරියට ගෙන යාමටත් අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ සියලූම ජන කොට්ටාශවලට හිමිවන අයිතිවාසිකම් අද වතුකරයේ ජනතාවටත් ලබාදීමට අපේ රජය කටයුතු කර තිබෙනවා. එම නිදහස හා අයිතිය බුක්තිවිදින ජනතාවගේ ප්‍රමාණය ඉහළ නංවාගැනීම අපේ අරමුණයි.

1986 දී වතුකරයේ ජනතාවට ඡන්ද බලය ලබාදීමේදී ඇති වූ කෝලහාලය මට හොදින් මතකයි. නමුත් අද අපි ඔබට ඉඩම් අයිතිය ලබාදෙන විට ඊට කිසිවෙකුත් විරුද්ධ වන්නේ නැහැ. ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස එකට එකතුවී ජාතික සංහිදියාවකින් යුතුව ජීවත්වීමට සියලූදෙනාටම අවශ්‍යවී තිබීම ඊට හේතුවයි. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියලූම ජනතාව එකට එකතුවී ඉදිරියට යා යුතුයැයි අද රටේ පොදු මතයක් නිර්මාණය වී තිබෙනවා.

වර්තමානයේ බ්‍රිතාන්‍ය, ස්පාඤ්ඤ, ඉරාකය ආදී රටවල් තුළ වෙන් වෙන්ව පාලන බලය හිමිවිය යුතු යැයි විවිධ දේශපාලන ව්‍යාපාර ඇතිවී තිබෙනවා. ඔවුන් ඒ සඳහා විවිධ සටන් ඇති කර ගන්නවා. නමුත් ශ්‍රී ලංකාවේ ජනතාව 2015 දී සිදු කළේ කුමක්ද? සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් බහුතරයක් ජනතාව මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස තෝරා ගනිමින් රටක් ලෙස අප සියලූදෙනාම එකට එකතු කරන්න යැයි ජනවරමක් අපට ලබාදුන්නා. අප දැන් ක්‍රියා කළ යුත්තේ ඒ ජනවරමට අනුවයි.

ශ්‍රී ලංකාවේ අතිතයේත් ඇතැම් යුද්ධ පැවැත්වුණා. යුද්ධය අවසන් වූ පසුව දීර්ඝකාලීන සාමයකට අවශ්‍ය සංහිදියාව හෝ එකඟත්වය ඇති කිරීමට එම පාලකයන් අසමත් වුණා. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට සංහිදියාව හා සහජීවනය ශ්‍රී ලංකාවේ ජනතාවට ලබාදීමට නොහැකි වූ නිසා ජනතාව විසින්ම ඔහුව පරාජයට පත් කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගත්තා.

ඒ අනුව අද ජනතාව එකට එකතු වී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත්, එක්සත් ජාතික පක්‍ෂයත් එකට එකතු වී තිබෙනවා. රට දියුණු කිරීමට නම් අප එකට එකතු විය යුතුයි. ඒ වෙනුවෙන් ඔබ ලබාදුන් ජනවරමට අනුවයි අප මෙම වැඩකටයුතු සිදු කරන්නේ. බිම් මට්ටමේ සංවර්ධන ප්‍රතිඵල ලබාගැනීමට නොහැකි නම් රට ජාතික මට්ටමෙන් සංවර්ධනය කළ නොහැකියි. උතුරේ යුද්ධය අවසන්වීමෙන් පසු එම ජනතාවට ඔවුන්ගේ ඉඩම් එම ජනතාවට ලබාදීමත්, සහන ලබාදීමත් සිදු කෙරෙමින් පවතිනවා. ඔබේ ප්‍රදේශයේ ජනතාවට මේ ආකාරයට ඉඩම් හිමිකම් ලබාදීම සිදු කෙරෙනවා. රටේ සියළු පූජනීය ස්ථාන දියුණු කිරීමට අවශ්‍ය ආධාර උපකාර ලබාදෙනවා. අපේ රජය යටතේ මේ සියලූ දේ සිදු කරන්නේ රටේ සියලූම ජනතාව එකට එකතු කරවීම සඳහායි.

අද සියලූදෙනාම බලාපොරොත්තු වන්නේ ඒකීය ශ්‍රී ලංකාවක්. ඒකීය රාජ්‍යයක් ඇති කිරීමට ප්‍රධාන පක්‍ෂ දෙක අවධානය යොමු කරනවා නම් ඒ වෙනුවෙන් සහයෝගය ලබාදීමට තමන් ද සූදානම් බව ද්‍රවිඩ සන්ධානයත් මේ වන විට පවසා තිබෙනවා. රටේ ප්‍රධාන පක්‍ෂ දෙකෙහි යෝජනා සළකා බැලීමට ද්‍රවිඩ සන්ධානය එකඟ වී තිබෙන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමුවතාවටයි. එසේ නම් රටේ ඒකීය භාවය වෙනුවෙන් වන විසඳුම කරා අප ළඟා වෙමින් සිටිනවා.
රටේ ජනාධිපතිතුමාටත්, ප්‍රධාන පක්‍ෂ දෙකටත්, විපක්‍ෂයේ අනෙක් පක්‍ෂවලටත් ජනතා වරමක් හිමිවී තිබෙනවා. රටක් ලෙස සියලූ දෙනා එකට එකතුවීමට අප එම වරම ප්‍රයෝජනයට ගන්නවා ද? නොමැති නම් බෙදී වෙන්වී ජීවත් වෙනවාද? අප තීරණය කළ යුතුයි.

එදා භාෂාව පිළිබදව විසදිය යුතු ප්‍රශ්නයක් විසඳීමට අවස්ථාව ලැබුණේ නැහැ. කවුරුන් බලයේ සිටියත් ඊට විරුද්ධව අනෙක් සියලූ දෙනා එරෙහි වුණා. එදා භාෂාව පිළිබඳව අතිවූ ගැටළුව වෙනම රාජ්‍යයක් ඉල්ලා සටන් කිරීමක් දක්වා වර්ධනය වුණා. එය ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලීම දක්වාත් වර්ධනය වුණා. අවසානයේ උතුරේ යුද්ධයක් ඇති වුණා. දකුණේ භීෂණයක් ඇති වුණා. සියල්ල අවසානයේදී රට විනාශයට පත් වුණා.

අද අපි මෙම ස්ථානයට පැමිණ තිබෙන්නේ ඒ සියලූ ගැටලූවලින් පීඩා විඳීමෙන් අනතුරුවයි. දැන් සියලූදෙනාම ඒකීය රාජ්‍යයක් තුළ එකට එක්විය යුතුයි. ඒ වෙනුවෙන් අප සියලූ වැඩකටයුතු සිදු කරනවා. නව ව්‍යවස්ථාව සහ ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳව ඇතැමුන් මේ දිනවල සාකච්ඡා කරනවා. නමුත් නව ව්‍යවස්ථාවක් පිළිබඳව අප තවමත අවසාන තීරණයක් ගෙන නැහැ. තවමත් අප සකසා තිබෙන්නේ ව්‍යවස්ථාව පිළිබඳව සියලූ දේශපාලන පක්‍ෂවල අදහස් ලබාගන්නා ලද නීතිමය භාවයක් නොමැති ලියවිල්ලක් පමණයි. ඒ තුළ විවිධ අදහස් තිබෙනවා. ඉන් සුදුසු අදහස් සහ විකල්ප තෝරා ගැනීමේ හැකියාව තිබෙනවා. ජනතා වරම අනුව අපි කටයුතු කළ යුතුයි. මෙම ගැටලූව විසඳන ලෙස ජනතාව ඉල්ලා සිටින විට දේශපාලන පක්‍ෂයක් ලෙස අපේ යුතුකම වන්නේ ජනතාව ලබාදුන් වරම අනුව එය විසඳීමට කටයුතු කිරීමයි.

එක්සත් ජාතික පක්‍ෂය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග එක්ව වැඩ කටයුතු කිරීමට එකඟ වුණේත් එම නිසයි. ජනතාවගේ මෙම ගැටළුවට විසඳුමක් සෙවිය යුතුයි. සිංහල, බෞද්ධ, ද්‍රවිඩ, ක්‍රිස්තියානි මේ සියලූ දෙනාම මේ ගැටළුවට විසඳුමක් අපේක්‍ෂා කරනවා. රටේ ජනගහණයෙන් බහුතරය සිංහල, බෞද්ධ වන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාවයි. එම බහුතරයේ අයිතිවාසිකම් අප ආරක්‍ෂා කළ යුතුයි. ඒ වගේම දෙමළ, හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම්, බර්ගර් ආදී සියලූම ජාතීන්ට සිය සංස්කෘතිය, භාෂාව සහ ආගම ඇදහීමේ හා බුක්ති විඳීමේ සම්පූර්ණ අයිතියක් හිමිවිය යුතුයි. අප අවධානය යොමු කරන්නේ මෙම කාරණා දෙක සඳහා පමණයි.

මේ රටේ භෞමික අඛණ්ඩතාවය ඇති කරමින් අප ඉදිරියට යාමට කටයුතු කරන්නේ ඒ නිසයි. මේ රට බෙදීමට කවුරුවත් යෝජනා කර නැහැ. මේ ලැබී තිබෙන අවස්ථාවෙන් අප ප්‍රයෝජන ගත යුතුයි. අප කටයුතු කළ යුත්තේ ජනතාව ලබාදුන් වරමට අනුවයි. පාර්ලිමේන්තුවක් ලෙස, රටක් ලෙස සියලූදෙනාගේම අදහස් සැලකිල්ලට ගනිමින් ජනතාව ලබාදුන් වරමට අප සාධාරණයක් ඉෂ්ඨ කරනවා යැයි මම ඔබට කියන්න කැමැතියි.

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රට බෙදීමක් ලෙස සලකමින් මේ දිනවල ඇතැම් මාධ්‍ය හැසිරෙනවා. එවැනි කිසිදු තත්ත්වයක් ඇතිවී නැහැ. තවමත් සකසා තිබෙන්නේ ඒ පිළිබඳව වන වාර්තාවක් පමණයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට මීට පෙරත් උත්සාහ කර තිබෙනවා. චන්ඬිකා කුමාරතුංග ජනාධිපතිනියගේ කාලයේදී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා යටතේ ව්‍යවස්ථාව වෙනස් කිරීමට උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැහැ. ඉන්පසුව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ කාලයේදී මහාචාර්ය තිස්සවිතාරණ මහතා යටතේ උත්සාහ කළා. එයත් අසාර්ථක වුණා. නමුත් ජනතාව වරමක් ලබාදී තිබෙන මේ අවස්ථාවේ ජනතා නියෝජිතයන් ලෙස, ජනතා මාධ්‍ය ලෙස, එම ජනතාව නියෝජනය කරන පන්තිය ලෙසත් අපි සියළු දෙනා අපේ යුතුකම ඉටුකළ යුතු යැයි මම ප්‍රකාශ කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *