සතොසේ නාඩු කිලෝව රු.74 ට

(කොළඹ, ලංකාපුවත්) –මෙම වසරේ ජුලි මාසයේදී ඉන්දියාවෙන් ඇණවුම් කළ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයෙන් නාඩු සහල් මෙට්‍රික් ටොන් 17 000 ක් මේ වන විට ශ්‍රී ලංකාවට ලැබී ඇති බවත් එම සහල් තොග ලංකා සතොස අළෙවි සැල් මඟින් හා සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ ජංගම අළෙවි රථ මඟින් ලංකාව පුරා බෙදා හැරීමට කටයුතු යොදා ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ඉන්දියාවෙන් ඇණවුම් කළ ඉතිරි නාඩු සහල් මෙට්‍රික් ටොන් 53 000 ලබන මස (නොවැම්බර්) දෙවන සතිය වන විට ලංකාවට ගෙන්වීමට සැලසුම් කර ඇත. මෙසේ ආනයනය කළ නාඩු සහල් කිලෝ ග්‍රෑම් 1 ක් රු.74 කට ලංකා සතොස හා සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ ජංගම අළෙවි රථ මඟින් පාරිභෝගිකයාට ලබාගත හැකිය.

එසේම ඉන්දියාවෙන් ආනයනය කිරීමට නියමිත සම්බා සහල් මෙට්‍රික් 30 000 ද නොවැම්බර් මාසය අවසන් වීමට පෙර වෙළඳ පළට නිකුත් කිරීමට බලාපොරොත්තු වේ.

ලඟ එන උත්සව සමයට හිඟයකින් තොරව අඩුම මිලට සහල් මිලදී ගැනීමට පාරිභෝගික ජනතාවට හැකියාව එමගින් ලැබෙන බව රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *