දන්ත සේවා කටයුතු ගමට ගෙනයාමට ජංගම දන්ත සේවා බස් රථ

(කොළඹ, ලංකාපුවත්) –දන්ත සේවා කටයුතු ගමට ගෙනයාම සදහා ජංගම දන්ත සේවා බස් රථ 07 ක් සහ රෝහල් 50 ක් පරිගණක ගත කිරීම සඳහා පරිගණක යන්ත්‍ර බෙදා දීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දී සිදු කෙරිනි.

ඩිජිටල් තාක්ෂණය යනු පහසුවෙන් කාර්යයන් සිදු කළ හැකි මෙවලමක් බවත් වත්මන් රජය විසින් ඩිජිටල්කරණයට මුල පුරා තිබෙන අතර සෞඛ්‍ය සේවාවන් ද පරිගණක ගත කරන බව අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී රුපියල් මිලියන 300 ක් වටිනා පරිගණක සහ රුපියල් මිලියන 107 ක් වටිනා ජංගම බස් රථ බෙදා දී ඇත.

මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යධූරයට මා පත්වන විට ඖෂධ හිගයක් පැවතුනා. සෑම දිනකම ඖෂධ වර්ග 44 – 79 අතර ප්‍රමාණයක හිගයක් තිබුනා. 2014 වර්ෂයේ පමණක් රුපියල් මිලියන 350 ක් වටිනා කල් ඉකුත් වූ ඖෂධ විනාශ කර තිබෙනවා. ඖෂධවල හිගය අවම කළේ පරිගණක මෘදුකාංගයක් හදුන්වා දීමෙන් පසුවයි. එමගින් ඖෂධ විනාශ වීම පවා නතර වුනා. ඖෂධ හිගයක් පිළිබදව ද වාර්තා වුයේ නැහැ. රෝහල් ඩිජිටල්කරණය කිරිම හොරණ මුලික රෝහලෙන් ආරම්භ කළා. 2019 වසර වනවිට රෝහල් 300 ක් පරිගණක ගත කර අවසන් කරන බවයි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා, විදුලි සංදේශ සහ ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් වසන්ත දේවප්‍රිය මහතා, රෝහල් අධ්‍යක්ෂවරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *