වෙන් කළ දෙබිඩි දරුවන්ගෙන් එක් අයෙක් දෑස් හැර බලයි

(කොළඹ, ලංකාපුවත්) –ශල්‍යකර්මයක් මගින් වෙන් කළ දෙබිඩි දරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු සැත්කමෙන් දින හතරකට පසු දෑස් ඇර ඇති බව ඉන්දීය වෛද්‍යවරු පවසති.

හිසෙන් සම්බන්ධ වී සිටි දෙහැවිරිදි දෙබිඩි පිරිමි දරුවන් දෙදෙනා වෙන් කිරීම සඳහා පසුගියදා කළ සැත්කම ඓතිහාසික ශල්‍යකර්මයක් ලෙස වෛද්‍යවරු හඳුන්ව දෙයි.

ජගා නමැති පිරිමි දරුවා දෙපා සෙලවීම වැනි සරල විධානයන්ට ප්‍රතිචාර දක්වා ඇත.

ඔහුට කෘත්‍රිම ශ්වසනය ලබා දෙන අතර වකුගඩුවල පවතින ගැටලු හේතුවෙන් ඔහු දෛනිකව රුධිර කාන්දුකරණයට (dialysis) ලක් කළ යුතුය.

සොහොයුරු කලියා සිහිසුන් තත්ත්වයෙන් පසුවන අතර ඔහු සංකූලතාවලට මුහුණ දී සිටී.
රුධිර වාහිනි සහ මස්තිෂ්ක පටක (brain tissues) එකට සම්බන්ධව මෙලොව දුටු පිරිමි දරුවන් වෙන් කිරීමේ ශල්‍යකර්මය සඳහා පැය 16 ගත විය.

දිල්ලි අගනුවර රජයේ රෝහලක සිදු කරන ලද ශල්‍යකර්මය සඳහා 30 දෙනෙකුගෙන් සැදුම්ලත් වෛද්‍ය කණ්ඩායමක් එක් වූ අතර ඉන්දියාව තුළ ඒ ආකාරයේ ශල්‍යකර්මයක් සිදු කරන ලද පළමු අවස්ථාව මෙයයි.

පිරිමි දරුවන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර මට්ටමක පවතින අතර ඔවුන් මෙතෙක් ලබා ඇති ප්‍රගතිය පිළිබඳ සෑහීමකට පත් විය හැකි බව ශල්‍යකර්මයට සම්බන්ධ වූ මහාචාර්ය දීපක් ගුප්තා බීබීසී වෙත පැවසීය.

හිසෙන් සම්බන්ධ වී සිටි නිවුන් දරුවන් දෙදෙනා උපත ලබා ඇත්තේ නැගෙනහිරට වන්නට පිහිටි ඔරිස්සා ප්‍රාන්තයේ ගම්මානයකය.

ලක්ෂ තිහකට එකක් වශයෙන් බිහිවන එම සංකූලතාව සහිත දරුවන්ගෙන් 50% උපත ලබා පැය 24 ඇතුළත මරණයට පත්වන බව වෛද්‍යවරු පවසති.

පසුගිය අගෝස්තු 28 වෙනිදා දරුවන් දෙදෙනා පළමු වරට ශල්‍යකර්මයකට භාජනය කරන ලද අතර මොළයේ සිට හදවත වෙත නැවත රුධිරය ගෙන ගිය පොදු රුධිර නාලිකා වෙන් කිරීම සඳහා එහිදී බද්ධ සැත්කමක් සිදු කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *