මානව හිමිකම් ක්‍රියාත්මක කරන්න වාතාවරණයක් ලැබුණා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – රටේ මානව හිමිකම් නැවත ක්‍රියාත්මක කරන්න අවස්ථාව උදා වී තිබෙන බවත් මානව හිමිකම් පිළිබඳ කතා කරන අයට එරෙහිව පහර නොගැසිය යුතු බවත් ඔවුන්ට ඒ සඳහා කතා කිරීමට අවස්ථාව ලබාදිය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැළැස්ම 2017- ( National Action Plan for the Protection and Promotion of Human Right 2017-2021) එළිදැක්වීම ඊයේ (01) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදු කෙරිණි.
එම අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අඳහස් පළ කළේ ය.

දැන් අපට ක්‍රියාත්මකකරන්න අවස්ථාව ලැබිලා තිබෙනවා. මේ සැළැස්ම ඉදිරිපත් කර තිබෙන්නේ ප්‍රශ්නයක් නැතිව. මේ රටේ මානව හිමිකම් ආරක්ෂා කරන්න අප බැදී සිටිනවා. මේ රජය මානව හිමිකම් තහවුරු කරනවා. මේ රජය පිහිටුවා තිබෙන්නේ මානව හිමිකම් මේ රටේ තහවුරු කරන්නයි.

මතක තබගන්න මීට කලින් මේ රටේ මනව හිමිකම් තිබුණේ නෑ. ජනතාව තම මානව හිමිකම් නැතිව හිටියා. අධිකරණයේ ප්‍රශ්න තිබුණා.අධිකරණයේ හිටපු අගවිනිසුරුවරිය ඉවත් කළා.මූලික අයිතිවාසිකම් පිළිබඳව සහන ගන්න තැනක් තිබුණේ නෑ.

අපිට අලුතෙන් මානව හිමිකම් ක්‍රියාත්මක කරන්න වාතාවරණයක් ලැබුණා. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ රටේ ජනාධිපතිතුමා හැටියට ජනවාරි 08 පත් වුණා. අපි ජාතික ආණ්ඩුවක් ඇති වුණා.අද නිදහස ඇති වී තිබෙනවා. අද අලුත් නීති සම්පාදනය වෙනවා. පාර්ලිමේන්තුව ශක්තිමත් කර තිබෙනවා.මානව හිමිකම් ක්‍රියාත්මක නොකළ නිසා ආගමික භේද ඇති වුණා. ජාති භේද ඇති වුණා.මේවා මානව හිමිකම් පදනම් කරගෙන විසඳන්න ඕන. මානව හිමිකම් ආරක්ෂා කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වැදගත්. රටේ ජනතාව දැනුවත් කළ යුතුයි. විවිධ අයිතිවාසිකම් තිබෙනවා. ඒවා ලබාදෙන්න තිබෙනවා.

අවාසනාවකට අපේ මාධ්‍යයෙන් කොටසක් මෙම මානව හිමිකම් ලෙස සළකන්නේ දේශපාලනය පැත්තෙන්,මේ ප්‍රශ්න මතුකරන අයටත් පහර ගහනවා.එය නවත්වන්න ඕන. රජයේ නොවන සංවිධානයකින් මානව හිමිකම් ප්‍රශ්න මතු කළා කියලා,එයට කලබල විය යුතු නෑ.මානව හිමිකම් සංවිධානවලට ඉඩ දෙන්න. ඒ අයට පහර ගහන්න එපා. මාධ්‍ය කතා කරන්න ඕන ඒවා කතා කරන්න. මාධ්‍යවේදීන් ඝාතනය කළා. හිරිහැර කළා. මාධ්‍ය වේදීන් කතා කළා, මාධ්‍ය මේ ගැන කතා කරන්නේ නෑ.

මානව හිමිකම් ගැන කතාකරනකොට මාධ්‍යවේදීන්ගේ අයිතිය වෙනුවෙන් ක්‍රියාකරන්න ඇයි මුල් පිටුවේ ඉඩ ලබානොදෙන්නේ? මාධ්‍යවේදීන්ගේ තමන්ගේ නැති වූ අය සොයන්න බැරිනම් අනෙක් ඒවා කරන්නේ කොහොමද? යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

මෙහිදී අඳහස් දැක්වූ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා;

යහපත් රටක් ගොඩනැඟීම සඳහා මානව හිමිකම් ආරක්ෂා කිරීම අත්‍යාවශ්‍ය කරුණක්. ඒ සඳහා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය කැප වී සිටිනවා.2015 ගොඩනැගුවේ යහපාලන රජයක්.සියලු දෙනාට තමගේ කටයුතු කිරීමට ඇති අයිතිය සුරක්ෂිත කර දී තිබෙනවා ඒ තුළින් සමෘද්ධිය ආර්ථික දියුණුව ඇති රටක් ගොඩනැගීමට හැකි වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *