ශ‍්‍රී ලංකාවේ සංහිඳියා වැඩපිළිවෙළ ඔස්ට්‍රේලියා අගමැතිගේ මහත් පැසසුමට

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ ශ‍්‍රී ලංකාව ගෙනයන සංහිඳියා වැඩපිළිවෙළ ඔස්ට්‍රේලියානු අග‍්‍රාමාත්‍යවරයාගේ මහත් පැසසුමට ලක්වෙයි.

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඔස්ට්‍රේලියානු අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා හමුවූ අතර එහිදී මේ බව සඳහන් කෙරිණි.

මිනිස් ජාවාරම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට එරෙහිව ශ‍්‍රී ලංකාව ගෙන යන ක‍්‍රියාමාර්ග ද මෙහිදී ඔස්ට්‍රේලියානු අග‍්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක්විය.

ශ‍්‍රී ලංකාව දූපත් රාජ්‍යයක් බැවින්, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙරට ඔවුන්ගේ ජාවාරම් කේන්ද්‍රස්ථානයක් ලෙස භාවිතා කිරීමට උත්සාහ දැරීම විශාල ගැටළුවක් වී ඇති බව ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

ශ‍්‍රී ලංකාවේ වෙරළාරක්ෂක කටයුතු සඳහා ඔස්ට්‍රේලියාවෙන් ලැබෙන සහයෝගය පිළිබඳව ජනාධිපතිතුමා ඔස්ට්‍රේලියානු අග‍්‍රාමාත්‍යවරයා වෙත සිය ස්තූතිය පළ කළේය.

නුදුරු අනාගතයේ ශ‍්‍රී ලංකාවේ වෙරළාරක්ෂක කටයුතු වෙනුවෙන් Stabicraft වර්ගයේ මුර යාත‍්‍රා තුනක් ශ‍්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව සූදානමින් සිටින බවත්, ඉතා වේගයෙන් ගමන් කළ හැකි එම මුර යාත‍්‍රා ශ‍්‍රී ලංකාවේ වෙරළාරක්ෂක කටයුතු වලට ඉමහත් පිටිවහළක් සපයනු ඇති බවත්, ඔස්ට්‍රේලියානු අග‍්‍රාමාත්‍යවරයා දන්වා සිටියේය.

එමෙන්ම ශ‍්‍රී ලංකාව තුළ ජාතික ආරක්ෂක විද්‍යාලයක් පිහිටුවීමට සහ එහි පරිපාලන සහ විෂය නිර්දේශ සම්පාදනය කිරීමට වසර දෙකක කාලයක් සඳහා ඔස්ට්‍රේලියානු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් මෙරටට එවීමට ඔස්ෙටි‍්‍රලියානු රජය සූදානමින් සිටින බව ද අග‍්‍රාමාත්‍යවරයා පැවසීය.

දෙරටේ අග‍්‍රාමාත්‍යවරුන් අතර අද පෙරවරුවේ අත්සන් තැබුණු වෙළෙඳ හා ආයෝජන ගිවිසුම් තුළින් දෙරටේ ද්වීපාර්ශ්වික ආර්ථික හා වෙළෙඳ සබඳතා තව දුරටත් ශක්තිමත් වනු ඇති බවද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීම පිළිබඳව ජනාධිපතිතුමා මෙහිදී ඔස්ට්‍රේලියානු අග‍්‍රාමාත්‍යවරයාට තම ස්තූතිය පිරිනැමීය.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප‍්‍රසාද් කාරියවසම් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *