කැටලෝනියා නායකයා බෙල්ජියම් පොලීසියට භාරවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ස්පාඤ්ඤ ආණ්ඩුව විසින් බලයෙන් පහ කරන ලද කැටලෝනියානු ජනාධිපති කාලෙස් පුයිජ්මොන්ට් (Carles Puigdemont) බෙල්ජියමේ පොලිසියට භාර වී ඇත.
බලයෙන් පහ කරනු ලැබීමෙන් අනතුරුව සිය ඇමතිවරුන් හතර දෙනකු ද කැටුව බ්‍රසල්ස් අගනුවරට පැමිණි කාලෙස් පුයිජ්මොන්ට් අත්අඩංගුවට ගන්නා මෙන් ස්පාඤ්ඤ අධිකරණය වරෙන්තු නිකුත් කරනු ලැබ තිබුණ අතර ඔවුන් පස් දෙනාම බෙල්ජියමේ පොලිස් මධ්‍යස්ථානයකට ගොස් භාර වූ බව වාර්තා වේ.

ස්පාඤ්ඤ විනිසුරුවරයෙකු විසින් පසුගිය සිකුරාදා ප්‍රකාශයට පත් කරන ලද යුරෝපා හවුලට බලපාන වරෙන්තුව අනුව කාලෙස් පුයිජ්මොන්ට් ‘මැඩ්රිඩ්’ බලධාරීන්ට භාර දිය යුතුද? නැද්ද? යන්න බෙල්ජියමේ විනිසුරුවරයෙකුගේ අධීක්ෂණයෙන් අනතුරුව තීන්දු කෙරෙනු ඇත.

පුයිජ්මොන්ට් ‘බ්‍රසල්ස්’ නගරයට පළා ගියේ කැටලෝනියාවේ නිදහස තීන්දු කෙරුණ ජනමත විචාරණයෙන් අනතුරුව, ස්පාඤ්ඤ ආණ්ඩුව විසින් එම භූමිය මැඩ්රිඩ් පාලනය යටතට පවරා ගනු ලැබීමෙන් පසුවය.

එම ජනමත විමසුම ස්පාඤ්ඤ ව්‍යවස්ථාවට පටහැණි යයි එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය තීන්දු කළේය.

බ්‍රසල්ස් නගරයට පළා ගිය කැටලෝනියානු නායකයා තමන් සම්බන්ධයෙන් නිදහස් සහ සාධාරණ විභාගයක් පිළිබඳව සහතික කිරීමකින් තොරව යළි ස්පාඤ්ඤයට නොපැමිණෙන බව කියා ඇත.

කැරලි ගැසීම, බෙදුම්වාදය, මහජන අරමුදල් අවභාවිතය සහ නීතියට පටහැණිව කටයුතු කිරීම යන චෝදනා යටතේ කාලෙස් පුයිජ්මොන්ට් සහ ඔහුගේ සගයන් වූ ඇමතිවරුන් හතර දෙනා තමන්ට අවශ්‍ය කරන බව මැඩ්රිඩ් පාලනය පවසයි.

ඔවුන් අත්අඩංගුවට ගැනීමට සහ ඒ සම්බන්ධ නඩු විභාගය පෙරට ගෙන යාමට බෙල්ජියම් අධිකරණය තීන්දු කළොත් ඔවුන් ස්පාඤ්ඤයට භාර දීමට දින හැටක කාලයක් ගතවිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *