කොතරම් අවලාද නැගුවත්, දූෂණ හා වංචා පිටුදැකීම මාගේ අධිෂ්ඨානයයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – බැඳුම්කර කොමිසම පත්කිරීම පිළිබඳ ආණ්ඩුවේ සුළු පිරිසක් විසින් තමන්ට චෝදනා සහ විවේචන එල්ල කළ ද, තමන් එය සිදුකරන ලද්දේ යහපාලන රජයක් ලෙස සමාජ සාධාරණත්වය ඉටුකරමින් වංචා දූෂණ පිටුදැකීම සඳහා ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (08) පෙරවරුවේ බත්තරමුල්ල, අපේගම පරිශ‍්‍රයේ පැවති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි දෙවැනි ගුණ සමරු උත්සවය අමතමිනි.

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව ඒ සඳහා වැරදිකරුවන් වන සියලුදෙනා වගකිව යුතු බව ද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා පැවති දූෂිත පාලනය වෙනස් කර යහපාලනයක් සඳහා වූ ඉතා පවිත‍්‍ර චේතනාවෙන් යුතුව යහපාලන රජය ගොඩනගාගත්තේ පසුගිය යුගයේ සිදුකළ වැරදි නැවත සිදුකිරීමට නොවන බව ද අවධාරණය කළේය.

සම්මුතිවාදී ආණ්ඩුවක් ලෙස යහපාලන සංකල්පය උදෙසා මෙන්ම සමාජ සාධාරණත්වය ඉටුකිරීම උදෙසා සියලුදෙනා කැපවිය යුතු අතර, එහිදී නීතියේ ආධිපත්‍යය ද සැමට සමාන විය යුතු බවත්, වැරදිකරුවන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මකවීම ද නිසි ලෙස සිදුවිය යුතු බවත් ජනාධිපතිතුමා අවධාරණය කළේය.

තමා ජනාධිපති ධූරයට පත්වූයේ ඕනෑම මොහොතක එම ධූරයෙන් ඉවත්ව යාමට සූදානමින් බවද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා තමන් විසින් නිවැරදිව සිදුකරනු ලබන කටයුතු සඳහා සහයෝගය ලබාදීම ආණ්ඩුවේ සියලුදෙනාගේ වගකීමක් බවද ප‍්‍රකාශ කළේය.

ලබන ජනවාරි 08 වනදාට වසර 03 ක් සපිරෙන යහපාලන රජය විසින් ඉටුකරන ලද යහපත් දේ ජනතාව අතරට ගෙන යා යුතු මෙන්ම ආණ්ඩුවේ ඇතැම් සුළු පිරිසක් විසින් සිදුකරන ලද වැරදි නිවැරදි කර ගනිමින් යහපත් ආණ්ඩුවක් ලෙස ඉදිරියට යාමට තවමත් අවස්ථාව පවතින බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

පූජ්‍ය මාදුළුාවාවේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ වෙත සිදුකළ හැකි ඉහළම උපහාරය වන්නේ උන්වහන්සේගේ දැක්ම, දර්ශනය හා අපේක්ෂාව වූ සාධාරණ සමාජයක් ගොඩනැගීමට සියලුදෙනා කැපවීම බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු වටරවුමේ ඉදිකෙරෙන පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක ස්වාමින් වහන්සේගේ පිළිරුව සඳහා අද මුල්ගල් තැබුණේ ද ජනාධිපතිතුමා අතිනි.

අනතුරුව අපේගම පරිශ‍්‍රයේදී ප‍්‍රධාන ගුණසමරු උත්සවය පැවැත්විණි.

කෝට්ටේ ශ‍්‍රි කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර, පෑලියගොඩ විද්‍යාලංකාරාධිපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම, ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය බෙල්ලන්විල විමලරතන, පූජ්‍ය තීනියාවල පාලිත යන ස්වාමින් වහන්සේලා ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් ද, රාජ්‍ය නිලධාරින්, සිිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් ද, මාදුළුවාවේ සෝභිත හිමි ගුණ සමරු කමිටුවේ සභාපති නීතිඥ රවී ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *