මේ වසරේ ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය 2017 වර්ෂයේ කිලෝග්‍රෑම් 46.7 දක්වා ඉහළ ගොස් තිබෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසයි.

2016 වර්ෂයේ දී මෙරට ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය කිලෝ ග්‍රැම් 44ක් විය. මෙම වර්ෂයේ දී එය කිලෝග්‍රෑම් 2.7කින් ඉහළ ගොස් ඇත.

2018 වර්ෂය සදහා අයවැය මුල්‍ය ප්‍රතිපාදන කළමණාකරණය හා 2017 වර්ෂයේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ කාර්ය සාධනය පිළිබදව පැවති සාකච්ඡාවේ දී මෙම කරුණු අනාවරණයවිය.

2017 වසරේ සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 3,89, 500 ක් වු අතර කරදිය ධීවර අංශයේ මෙට්‍රික් ටොන් 335,750ක් සහ මිරිදිය ධීවර අංශයේ මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 53,750 කි. 2016 වසරේ සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 3,80,780කි.

රටේ ජනතාවගේ සමස්ත දෛනික ප්‍රෝටීන අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් මත්ස්‍ය පරිභෝජනයෙන් ලබා ගත හැකි අතර, මෑත කාලය තුළ සමස්ත ලෝකය පුරා මාංශ පරිභෝජනය පහළ යමින් පවති. මස්වල අඩංගු මේදය හා කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ යාම නිසා හෘදය වස්තුවේ රෝග, පිළිකා, අධි රුධිර පීඩනය, ආඝාතය වැනි තත්ත්වයන්ට පුද්ගලයින් ගොදුරුවීම ඉහළ යාම ඊට හේතු වී තිබේ.

මත්ස්‍ය පරිභෝජනය මගින් කොලෙස්ටරෝල් පාලනය කිරීමට හේතුවන ඔමේගා 03 විටමින් පහසුවෙන් ලබා ගැනීමට හැකියාව ලැබෙන බැවින් මෑත කාලය තුළ මත්ස්‍ය පරිභෝජනය ඉහළ යාමට හේතු විය.

පසුගිය දශකය තුළ මෙරට ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය අවම මට්ටමක පැවැතිණ. මධ්‍යම කදුකරයේ වතු ආශ්‍රිතව එය ග්‍රෑම් 450ක් දක්වා අඩු මට්ටමක පැවැති අතර, සෙසු ප්‍ර‍දේශවල කිලෝග්‍රෑම් 22-24 දක්වා මට්ටමක පැවැතුණි.

2017 වසරේ ගත වු මාස 10 තුළ ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය කිලෝ ග්‍රෑම් 46.7 දක්වා ඉහළ යෑම රටේ පෝෂණය පිළිබද යහපත් දර්ශකයක් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *