ළමුන් සම්බන්ධයෙන් පවතින කටයුතු සොයා බැලීම සදහා විශේෂ මෙහෙයුම් කමිටුවක්

(කොළඹ, ලංකාපුවත්) – ළමුන්ගේ ආරක්ෂාව, දරුවන් සදහා ලබා දිය යුතු ප්‍රමුඛතා, පවතින නීති හා පවතින නඩු කටයුතු සොයා බැලීම සදහා විශේෂ මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට කටයුතු කරන බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය.

ඇය මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකාවේ ළමුන් සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම පිළිබදව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් සකස් කළ A Legal and Institutional Assessment of Srilanka s Justice System for Children වාර්තාව අධිකරණ අමාත්‍යතුමියට පිළිගැන්වීම සදහා කොළඹදි පැවති උත්සවයකට ඊයේ(14) එක්වෙමිනි.

යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත Tim Sutton මහතා විසින් එම වාර්තාව අධිකරණ අමාත්‍යතුමිය වෙත පිළි ගැන්වීම සිදු කළේය.

වාර්තාව පිළි ගැන්වීමෙන් අනතුරුව  ප්‍රධාන දේශනය සිදු කරමින් වැඩිදුරටත් අදහස් දැක් වු අධිකරණ අමාත්‍යතුමිය මෙසේ පැවසුවාය.

යුනිසෙෆ් සංවිධානය මගින් අපේ රටේ දරුවන්ගේ අධිකරමණය කටයුතු පිළිබදව සොයා බලා විශේෂ වාර්තාවක් නිකුත් කළා .ඒ වාර්තාවට අනුව  අපේ රටේ ළමුන්ට සිදු වන විවිධ අපරාධ සම්බන්ධයෙන් දරුවන්ට ලබා දිය යුතු ප්‍රමුඛතා පිළිබදව සදහන් වෙනවා.ඒ අනුව ඒවා ක්‍රියාත්මක කිරීම සදහා ඒවා රටේ නීති බවට පත් කිරීම සදහා මෙහෙයුම් කමිටුවක් කඩිනමින් පත් කර අවශ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා .මේ වාර්තාව සකස් කලේ අපේ අමාත්‍යාංශයේ අනුමැතිය අනුවයි .මෙම වාර්තාවේ සදහන් කර ඇති සුදුසු නිර්දේශ ක්‍රියාත්මක කිරීම මගින් අපේ රටේ දරුවන්ගේ අනාගතය සාර්ථක කළ හැකියි .

එම මෙහෙයුම් කමිටුවට අධිකරණ අමාත්‍යාංශය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, ළමා ආරක්ෂණ අධිකාරිය, පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව වැනි ආයතනවල සහයෝගයෙන් පත් කිරීමට ක්‍රියා කරනවා.ඒ සදහා යුනිසෙෆ් සංවිධානය වැනි ආයතනවල සහාය අපට අවශ්‍යයි.

විශේෂයෙන් මෙම වාර්තාව සකස් කිරීම පිළිබදව යුනිසෙෆ් සංවිධානයට හා ඒ හා සම්බන්ධව කටයුතු කළ සියලු දෙනාට ස්තුතිය පළ කරනවා.ළමුන් පිලිබදව පවතින නඩු කඩිනමින් විසදීම සදහා අවශ්‍ය ක්‍රියා මාර්ග මේ වන විටත් අපි ගෙන තිබෙනවා. ළමා අපචාර හා දුෂණ සම්බන්ධව නීතීපති දෙපාර්තමේන්තුව තුළ පවතින නඩු කටයුතු සදහාත් මේ වන විට කඩිනම් විසදුම් ලබා දී තිබෙනවා.ඒ සදහා අධිකරණ අමාත්‍යාංශයේ සහයෝගය අවශ්‍ය පහසුකම් එම දෙපාර්තමේන්තුවට ලබාදී තිබෙනවා.

ළමා හිංසනය අපචාර අවම කිරිම සදහා යුනිසෙෆ් සංවිධානය අධිකරණ අමාත්‍යාංශය සමග එක්ව වැඩ සටහන් රාශියක් දියත් කර තිබෙනවා.එම වැඩ සටහන් ළමා අපචාර හිංසන අඩු කිරීමට විශාල පිටිවහලක්ව තිබෙන බව කිව යුතුයි.ළමුන්ගේ ආරක්ෂාව පිළිබදව දෙමාපියන් ළමා ආරක්ෂණ අධිකාරිය ඒ සදහා පත් කර ඇති නිලධාරීන් වගකීමෙන් කටයුතු කළ යුතු බව ද අමාත්‍යවරිය සදහන් කළාය.

උත්සවය අවසන් වීමෙන් පසුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න කිහිපයකට ද අමාත්‍යවරිය මෙලෙස පිළිතුරු ලබා දුන්නාය.

මාධ්‍ය වේදියා- ඇමතිතුමිය, කමිටුවක් පත් කිරීම පිළිබදව ප්‍රධාන දේශනයේදී සදහන් කළා  ඔබතුමිය ළමා හිංසනය අපචාර අඩු කිරිම සදහා පත් කිරිමට බලාපොරොත්තු වෙන්නේ මොන වගේ කමිටුවක් ද

අමාත්‍යතුමිය- යුනිසෙෆ් සංවිධානය මගින් අපේ රටේ දරුවන්ගේ අධිකරමණය කටයුතු පිළිබදව සොයා බලා විශේෂ වාර්තාවක් නිකුත් කළා .අපේ රටේ තිබෙන ළමා අපචාර හිංසනය අවම කිරීමට ළමුන්ගේ ආරක්ෂාව සදහා මොන වගේ පියවරයන් අනුගමනය කළ යුතු ද යන්න එහි සදහන් වෙනවා .ඒ අනුව ඒ පිලිබදව සොයා බැලිම සදහා මෙම කමිටුව ඉදිරියේදි පත් කිරීමට කටයුතු කරනවා. අධිකරණ අමාත්‍යාංශය, ළමා ආරක්ෂණ අධිකාරිය පොලීසිය ,නීතිපති දෙපාර්තමේන්තුව වැනි ආයතනවල සහයෝගයෙන් පත් කිරීමට ක්‍රියා කරනවා.

මාධ්‍යවේදියා-නව මහාධිකරණයක් දුෂණ අක්‍රමිකතා සෙවීම සදහා ස්ථාපිත කරන බව  සදහන් කළා .එහි තත්වය මොන වගේ ද

අමාත්‍යතුමිය – ඒ පිළිබදව අපි මීට පෙරත් සදහන් කළා .අධිකරණ පද්ධතිය තුළ ගොඩ ගැසී ඇති මුල්‍ය අපරාධ දුෂණ හා සංවිධානාත්මක අපරාධ නඩු විසදීමට විශේෂිත මහාධිකරණ තුනක්  ස්ථාපිත කරනවා.ඒවා හරහා ඒ නඩු කඩිනමින් විසදනවා.

මීට අමතරව අපි දැන් මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 35 කින් වැඩි කිරීමට කටයුතු කළා.ඒ තුළින් අධිකරණ පද්ධතියේ දැවැන්ත වෙනසක් ඉදිරියේදි සිදු වෙනවා.

මාධ්‍ය වේදියා-ඇමතිතුමිය දැන් අධිකරණ පද්ධතිය සදහා මෙවර අයවැයෙන් ලබාදී ඇති ප්‍රතිපාදන පිලිබදව සෑහිමකට පත් වෙනවාද

අමාත්‍යතුමිය- ඔව් උපරිම සෑහීමකට පත් වෙනවා.අපිට නව අධිකරණ ඉදි කරන්න මුදල් වෙන් කර තිබෙනවා.නව මහාධිකරණ තුනක් පිහිටුවනවා.ස්වයංක්‍රිය නඩු ගොනු කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරිමට ප්‍රතිපාදන ලැබී තිබෙනවා.අධිකරණ පහසුකම් වර්ධනයට මෙන්ම නව අධිකරණ පිහිටුවන්නත් මුදල් වෙන් කරලා තිබෙනවා.

මෙම අවස්ථාවට නීතිපති ජයන්ත ජයසූරිය අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස් යන මහත්ම මහත්මීන් යුනිසෙෆ් සංවිධානයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *