රටේ තරුණ පිරිසට රැකියා බිහිකළ හැකි අයවැයක් ඉදිරිපත් කළා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –රටේ තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා බිහිකළ හැකි අයවැයක් මංගල සමරවීර අමාත්‍යවරයා මෙවර ඉදිරිපත් කර තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ පැවති දකුණු ආසියානු ඇඟළුම් හා රෙදිපිළි සැපයුම්කරුවන්ගේ ප්‍රදර්ශනය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

1977 වසරේදී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා වෙළඳ කලාප ඇති කරමින් විදේශීය ආයෝජකයන් මෙරටට ගෙන්වා ගෙන රැකියා බිහි කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කළ බව පෙන්වා දුන් අගමැතිවරයා ඒ වගේම ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා යටතේ ඇගළුම් කර්මාන්ත ශාලා 200 වැඩසටහනත් , විදේශීය හෝටල් ව්‍යාපාර මෙරට ඇති කිරීමත් හරහා රට තුළ තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා අවස්ථා නිර්මාණය වූ බව ද පෙන්වා දුන්නේය.

අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ කාලයේ මෙම ඇඟළුම් කර්මාන්තශාලා හා හෝටල් ව්‍යාපාර හරහා ශ්‍රී ලංකාවේ නිෂ්පාදන හා සේවා වැඩි කරමින් රටට ලැබෙන අපනයන ආදායම තවත් වර්ධනය කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කළා.

නමුත් පසුගිය වසර 10 තුළ ශ්‍රී ලංකාවේ පාලකයන් රටේ අපනයන කර්මාන්තය වෙත අවධානය යොමු කළේ නැහැ. නමුත් රටේ රැකියා අවස්ථා බිහිවුණේ අපනයන කර්මාන්තශාලා හරහායි. කර්මාන්තශාලා ඉදිකරමින් අපනයනය ආර්ථිකයක් නිර්මාණය කරගැනීමකින් තොරව රටකට සංවර්ධනය විය නොහැකියි. නමුත් එය තේරුම් නොගත් පසුගිය වසර 10 තුළ රට පාලනය කළ පාලකයන් ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදන ඉහල දැමීමට හෝ කර්මාන්තශාලා ඇති කිරීමට කටයුතු කළේ නැහැ. යටිතල පහසුකම් සංවර්ධනය කළත් මහාමාර්ග, පාලම් ඉදිකළත් ඒ කිසිවකින්වත් ස්ථිර රැකියා නිර්මාණය වුණේ නැහැ. ස්ථිර රැකියා බිහිකිරීමට නම් ලෝක වෙළඳ පොලත් සමඟ තරඟ කළ හැකි මට්ටමේ අපනයන කර්මාන්තශාලා ඇති කළ යුතුයි.

ශ්‍රී ලංකාව තුළ අපනයන කර්මාන්තය දියුණු කිරීම සදහා ඉටුකළ යුතු කරුණු කිහිපයක් අප හඳුනාගෙන තිබෙනවා. ඉන් පළමු වැන්න ආයෝජකයන් දිරිගැන්වීමයි. රට තුලට පැමිණෙන ආයෝජකයන් දිරි ගැන්වීම සදහා නව දේශීය ආදායම් බදු පනත හරහා අප කටයුතු කර තිබෙනවා. යම් ආයෝජකයෙක් තම ව්‍යාපාර ආරම්භ කිරීමට වැය කරන මුදල මෙන් දෙගුණයක සහන ඔවුන්ට නැවත ලබාදීමට නව දේශීය ආදායම් බදු පනත හරහා අප කටයුතු කර තිබෙනවා.

ඒවගේම දෙවන කාරණය තරගකාරීත්වයයි. තරඟකාරීත්වය ඇති කරගැනීම සඳහා ආයෝජකයන්ට අවශ්‍ය මුදල් ලබාදීමට රජය කටයුතු කරනවා. ඒ සඳහා සංවර්ධන බැංකු ආදි නව බැංකු ඇති කිරීමට ද බලාපොරොත්තු වෙනවා. තරඟකාරිත්වය හරහා ලෝක වෙළඳ පොළට ඇතුළුවීමටත් විදේශීය ආයෝජන රට තුලට ගෙන්වා ගැනිමටත් එමගින් හැකියාව ලැබෙනවා. මේ හරහා ආයෝජකයන්ට සිය නිෂ්පාදන අලෙවි කිරීමට විශාල වෙළඳපොලක් නිර්මාණය වෙනවා.

අනෙක් කාරණය නම් විදේශීය ආයෝජන හරහා විවිධ කර්මාන්තශාලා රට තුළට පැමිණෙන විට ඒ සඳහා අවශ්‍ය වෘත්තීය දැනුම ශ්‍රී ලාංකික ජනතාවට ලබාදීමයි. එය විශාල කාර්යභාර්යක්. ඒ සඳහා අවශ්‍ය මුදල් මෙවර අයවැයෙන් වෙන් කර දී තිබෙනවා. අවශ්‍ය වෘත්තීය පුහුණු කටයුතු ජාතික යොවුන් සේනාංකය හරහා සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ආධුනිකයන් ලෙස වෘත්තීය පුහුණුව ලබාගැනීමටත්, යෞවන සංවර්ධන කටයුතුවල යෙදීමටත්, විවිධ ආයතන තුල ප්‍රායෝගික පුහුණුව ලබාගැනීමෙන් පසු එම ආයතන තුළම රැකියා වෙත යොමු වීමටත් හැකියාව ලැබෙනවා. මෙම වැඩකටයුතු ආරම්භ කිරීමට මෙම වසරට පමණක් රුපියල් කෝටි 500ක් අප වෙන් කර තිබෙනවා. ආරම්භය සඳහා එය ප්‍රමාණවත් වන අතර ඉදිරියේදී මේ සඳහා වෙන් කරන මුදල් වැඩි කිරීම අපේ බලාපොරොත්තුවයි.

මේ සියලු දේ සිදු කිරීමට ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන හරහා පැමිණෙන හෝටල් හා ව්‍යාපාර සංඛ්‍යාව වැඩි විය යුතුයි. ආණ්ඩුවක් ලෙස මේ සියලු පියවර අපි අනුගමනය කරන්නේ ශ්‍රී ලංකාව තුල දැනට පවතින ව්‍යාපාර දියුණු කරමින් නව ආයෝජන රට තුලට ගෙන එමින් මේ රටේ තරුණ තරුණියන්ට හොද රැකියා අවස්ථා බිහිකිරීමට බව මම ප්‍රකාශ කරනවා. ඊට උදාහරණයක් ලෙස මෙම Intex South Asia 2017 වැඩ සටහන සැලකිය හැකියි. මෙම ප්‍රදර්ශනය මෙහි පැවැත්වීම සම්බන්ධයෙන් ඔබ සියලු දෙනාටම ස්තුති වන්ත වෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *