ශ‍්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙන් ක‍්‍රියාත්මක වූ උතුරේ සෞඛ්‍ය ව්‍යාපෘතීන් රැසක් සාර්ථකයි

(කොළඹ, ලංකාපුවත්) – දශක තුනකට අධික කාලයක් පුරා පැවති බිහිසුණු යුද්ධයෙන් පීඩාවට පත් උතුරේ ජන ජීවිතය යළි නගා සිටුවීමේ නව රජයේ වැඩපිළිවෙළ යටතේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත, ත‍්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් සිදුකෙරෙන සංවර්ධන කටයුතු රැසක් මේ වනවිට සාර්ථකව ක‍්‍රියාත්මක වේ.

ඒ අනුව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ අධීක්ෂණය යටතේ යුද හමුදා ශ‍්‍රම දායකත්වයෙන් එම ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සමග අනුබද්ධව ක‍්‍රියාත්මක කළ ව්‍යපෘති රැසක් මේ වනවිට සාර්ථකව නිමකර තිබේ.

ඒ යටතේ යාපනය බල ප‍්‍රදේශය තුළ පවතින මරුතන්කර්නි ප‍්‍රාදේශීය රෝහල, කයිට්ස් මූලික රෝහල, වඩුක්කෝට්ටෙයි ප‍්‍රාදේශීය රෝහල, වේලානයි ප‍්‍රාදේශීය රෝහල, චන්කානයි ප‍්‍රාදේශීය රෝහල සහ කොඩිකාමම් ප‍්‍රාදේශීය රෝහල යන රෝහල්වල බාහිර වෛද්‍ය ප‍්‍රතිකාර ඒකක සහ වාට්ටු සංකීර්ණ ඉදිකිරීම, වෛද්‍ය නිලධාරී නේවාසිකාගාර ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු නිමකර තිබේ.

තව ද කිළිනොච්චි බල ප‍්‍රදේශයට අයත් මල්ලාවි මූලික රෝහල, මාන්කුලම් මූලික රෝහල, කිලිනොච්චි දිස්ත‍්‍රික් රෝහල යන රෝහල්වල සහ මුලතිව් බල ප‍්‍රදේශයට අයත් සම්පත්නුවර දිස්ත‍්‍රික් රෝහලේ බාහිර වෛද්‍ය ප‍්‍රතිකාර ඒකක ඉදිකිරීම ද මේ වනවිට නිමා කර ඇත.

වන්නි බල ප‍්‍රදේශයට අයත් වව්නියා මහ රෝහලේ සහ මාන්තෙයි නැගෙනහිර ග‍්‍රාමීය රෝහලේ වෛද්‍ය නිලධාරී නේවාසිකාගාර ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු ද සාර්ථකව අවසන් කර තිබේ.

ඒ අනුව ඉදිකිරීම් නිමාකර ඇති එම සියලූ ව්‍යාපෘති සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීමට ශ‍්‍රී ලංකා යුද හමුදාව මේ වනවිට කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *