ශ්‍රී ලංකා අගමැති සයිබර් අවකාශ ගෝලීය සමුළුව අමතයි

(කොළඹ, ලංකාපුවත්) – එක් අතකින් පුද්ගලිකත්වය හා විවෘත භාවය සමබර කරමින් ද, අනෙක් අතින් අන්තවාදී හා ත්‍රස්තවාදී කළු අශ්වයන්ට ඩිජිටල් පිටිය විවෘත නොකරමින් ද, ඩිජිටල් තාක්‍ෂණය ඉදිරියට ගෙන යා යුතු බව ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සයිබර් අවකාශ ගෝලීය සමුළුව විවෘත කරමින් පැවසීය.

නවදිල්ලි නුවර පුල්මන් හෝටලයේ එරොසිටි හි දී අද(23)පැවති සමාරම්භක උත්සවයේ දී මෝදි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඉන්දියාව ඩිජිටල් තාක්‍ෂණය ඔස්සේ දූෂණ මැඬලීමට හා නාස්තිකාර වියදම් අවම කිරීමට ද, ජනතා ජීවන තත්වය ඉහළ නැංවීමට ද ක්‍රියා කර ඇති බව ය.

ඩිජිටල් තාක්‍ෂණය යහපාලනය සඳහා යොදවා ගෙන ඇති අන්දම පිළිබඳවත්, එමගින් ඉන්දියාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේ ය.

ලෝකය එකම පවුලක් යන්න ඉන්දියාවේ පැරණි කියමනක් බව පැවසූ මෝදි මහතා ඒ කියමන නවීන ලෝකය හා බද්ධ කරලීම උදෙසා ඩිජිටල් තාක්‍ෂණය ඔස්සේ ලැබෙනුයේ මහඟු පිටිවහලක් බව අවධාරණය කළේය. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලීමටත්, මානුෂික මුහුණුවරකින් යුතු තාක්‍ෂණය ක්‍රමවේදයන් ඉහළට එසැවීම සඳහාත් සයිබර් අවකාශය ඔස්සේ ලැබෙන අවස්ථාවන් පිළිබඳව ද මෝදි මහතා පෙන්වා දුන්නේය.

ලක්‍ෂ සංඛ්‍යාත ඉන්දීය වැසියන්ට සේවා සපයන ජන් ධාන් – ආධාර් ඩිජිටල් ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කරුණු ගෙනහැර දැක්වීය. මෙහිදී සිදුවන්නේ මූල්‍ය හා බැංකු සේවාවන් සහ ආධාර පහසුකම් ජංගම දුරකථන ඔස්සේ ලබා ගැනීමට ජනතාවට පහසුකම් සැලසීමය. මෙය ගම්වාසී ජනතාව අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්ව ඇතිවාක් මෙන්ම, අතරමැදි දූෂණ ක්‍රියාවලීන් ගණනාවක් මේ ඔස්සේ වලක්වා ගැනීමට හැකි වී ඇති බව ද මෝදි මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

සයිබර් අවකාශ ගෝලීය සමුළුව විවෘත කිරීමේ උළෙලට විශේෂ ආරාධිතයෙකු වශයෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී විය.

ඉන්දීය රජය විසින් ජනතාවට පිරිනමන  “යුමන්ග්” හෙවත් නව යුගයේ රාජ්‍ය පාලනය පිළිබඳ ඒකාබද්ධ ජංගම දුරකථන යෙදවුම (UMANG  – Unified Mobile Application for New-age Governance) හඳුන්වාදීම ද මෙහිදී සිදු කෙරිණි.

ඉන්දියාව සහ ඩිජිටල් තාක්‍ෂණය පිළිබඳ කෘතීන් දෙකක ඊ – එළිදැක්වීම සහ ඩිජිටල් ක්ෂේත්‍රයේ තරග ජයග්‍රාහකයින්ට තිළිණ ප්‍රදානය කිරීම ද අග්‍රාමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

නීති හා අධිකරණ සහ ඉලෙක්ට්‍රොනික්ස් හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය ශ්‍රී රවි ශංකර් ප්‍රසාද් මහතාගේ පිළිගැනීමේ කතාවෙන් පසු, උත්සව සභාව ඇමතූ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ වර්තමානයේ තොරතුරු සහ දැනුම ලබාගැනීමේ ප්‍රධාන වේදිකාවක් බවට සයිබර් අවකාශය පත්ව ඇති බවය.

ජීවන තත්වය උසස් කිරීම, මානව සංවර්ධනය හා සමාජ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රධාන නිර්ණායකයක් බවට සයිබර් අවකාශය පත්වී තිබෙන බව අවධාරණය කළ වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ මේ නිසාම මානව සමාජයට අලූත් අභියෝගයන් ද එල්ල වෙමින් පවතින බවය.

මානව නිදහස සහ අයිතීන්, පුද්ගලික නිදහස ආදී ක්ෂේත්‍ර‍යන් වෙත මේ අභියෝගයන් වැඩි වැඩියෙන් සයිබර් අවකාශය හරහා එල්ල වෙමින් පවතින බැවින් සයිබර් ආචාර ධර්ම පිළිබඳ අවධානය යොමු කිරීමට සුදුසු කාලය එළැඹ ඇති බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ ය.

නිදහසේ තොරතුරු ගලා ඒම සහ පුද්ගලික නිදහස අතර සමබරතාවක් ඇති කරලීම උදෙසා සයිබර් අවකාශයේ යහ පාලනයක් ක්‍රියාත්මක විය යුතු බව තමන්ගේ විශ්වාසය බව ද වික්‍රමසිංහ මහතා පැවසීය.

එමගින් අන්තර්ජාල මධ්‍යස්ථාභාවය ඇති කර ගැනීම ඔස්සේ සයිබර් අවකාශයේ වර්ධනාත්මක මෙන්ම විප්ලවීය පියවර ගත හැකි වනු ඇති බවට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළ කළේ ය.

ලෝකයේ රටවල් 135 ක් නියෝජනය කරමින් දස දහසකට අධික නියෝජිතයන් පිරිසක් මෙවර සමුළුවට සහභාගී වන අතර, ලොව පුරා ස්ථාන 2800 ක සිට විශාල පිරිසක් සජීවීව සමුළුව සමග සම්බන්ධතා පවත්වති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *