පාරම්පරික දේශීය වෛද්‍ය විද්‍යාවේ ප‍්‍රගමනයට අවශ්‍ය සියලු පහසුකම් සලසනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – අතීතයේදී මහා විස්කම් පෙන්වූ අපගේ පාරම්පරික දේශීය වෛද්‍ය විද්‍යාවට හිමිවිය යුතු නිසි ගෞරවය හිමිකර දෙමින්, එහි ප‍්‍රගමනයට අවශ්‍ය සියලු පහසුකම් සලසන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි.

නවීන තාක්ෂණයත් සමග සිදුවූ බටහිර වෛද්‍ය විද්‍යාවේ නව සොයා ගැනීම් සහ පරීක්ෂණ සමග කඩිනම් ප‍්‍රතිකාර සඳහා ජනතාව යොමුවීම තුළින් පාරම්පරික දේශීය වෛද්‍ය ක‍්‍රම යටපත් වුවද ඉතිහාසයේ අප නිරෝගීමත් ජාතියක් බවට හිමිකම් කීවේ අත්දැකීම් බහුල හෙළ වෙදකම නිසා බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ “Tradmed International Sri lanka 2017” පාරම්පරික හා අනුපූරක වෛද්‍ය ක‍්‍රම පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණය හා අධ්‍යාපනික වෙළෙඳ ප‍්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට ඊයේ (23) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී එක්වෙමිනි.

මෙම අවස්ථාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ, දේශීය හෙළ වෙදකමේ ශක්තිය නැවත සමාජය අතරට ගෙන එමින් දේශීය සහ ආයුර්වේද වෛද්‍යවරයා වෙත හිමිවිය යුතු සමාජ ගෞරවය සහ පිළිගැනීම නැවත ලබාදීමට මෙවන් සමුළු තුළින් විශේෂ අවධානයක් යොමු විය යුතු බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඒකාබද්ධව සංවිධානය කරන සමුළුව අද සිට 25 වනදා දක්වා කොළඹ වෝටර්ස් ඒජ්හි දී පැවැත්වේ.

පාරම්පරික හා අනුපූරක වෛද්‍ය ක්ෂේත‍්‍රයන්හි පර්යේෂණාත්මකව ඔප්පුකොට ඇති ගෝලීය වටිනාකම් සහිත අත්දැකීම්, දැනුම හා කුසලතා හුවමාරුකර ගැනීමට අවශ්‍ය වේදිකාවක් නිර්මාණය කිරීම මෙම සම්මන්ත‍්‍රණයේ අරමුණ වන අතර විවිධ වෛද්‍ය ක‍්‍රමවල නිපුණතාවයක් දක්වන්නා වූ වෛද්‍යවරුන්ට තමන් සතු සුවිශේෂී වු දැනුම විද්‍යාත්මක ක‍්‍රම පාදක කරගනිමින් පර්යේෂණාත්මකව එළි දැක්වීමට හා රාජ්‍ය, පෞද්ගලික ව්‍යවසායකයන් සමග සම්බන්ධ වීමට අවශ්‍ය පසුබිම මෙමගින් නිර්මාණය කෙරේ.

ඇමරිකාව, එක්සත් රාජධානිය, ඕස්ටේ‍්‍රලියාව, සිංගප්පූරුව, ජපානය, චීනය, ඉන්දියාව, දකුණු කොරියාව, නෙදර්ලන්තය, ඉරානය හා තායිලන්තය යන රටවල්වල විද්වතුන් හා දේශීය විද්වතුන් විසින් පවත්වනු ලබන විද්වත් දේශන 48 ක් මෙම සම්මන්ත‍්‍රණයට ඇතුළත් ය. සම්මන්ත‍්‍රණය අවසානයේ කොළඹ ප‍්‍රඥප්තිය ඉදිරිපත් කරමින් විකල්ප වෛද්‍ය ක‍්‍රම දියුණු කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර, ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරුන් ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නැගෙනහිර ආසියා කලාපයේ ප‍්‍රාදේශීය අධ්‍යක්ෂිකා ආචාර්ය පුනම් කෙට්ට‍්‍රාපල් සිං මහත්මිය ඇතුළු එහි නියෝජිත පිරිසක් මීට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *