චෝදනා එල්ල කරන්නේනම් සියලු තනතුරු අතහැරීමට ජනපති සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – දූෂණයට, වංචාවට එරෙහිව තීන්දු තීරණ ගන්නාවිට එයට විරුද්ධව තමාට චෝදනා එල්ල කරන්නේනම් තමන් සියලු තනතුරු අතහැර ජනතාව සමග එක්ව එම සටන ඉදිරියටම ගෙන යාමට සූදානම් බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ අද (24) නිකවැරටිය ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව වැරදි කළ නිසා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා 2015 වසරේදී පරාජයට පත්වූ අතර, එක්සත් ජාතික පක්ෂයේ පිරිස් ද ආණ්ඩුව තුළ සිටිමින් එම වැරදි සහ අඩු පාඩු එලෙසම සිදු කරන්නේනම් ජනතාව එය අනුමත නොකරන බව ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

පැවති දූෂිත පාලනය වෙනස්කර ජනතාව අලුත් ආණ්ඩුවක් බලයට පත්කර ගත්තේ නිවැරදි වැඩපිළිවෙළක් සඳහා බව අවධාරණය කළ ජනාධිපතිතුමා එම ජනතා අපේක්ෂාව ඉටුකිරීම වෙනුවෙන් නිවැරදි ගමනක් යාමට සියලුදෙනා සූදානම් විය යුතු බව ද අවධාරණ කළේය.

වෙන්වීම පහසුවන අතර, එක්වීම අපහසු බව සඳහන් කළ ජනාධිපතිතුමා දේශපාලන ළදරුවන් නොවී පරිණත සහ බුද්ධිමත් දේශපාලනඥයින් ලෙස බෙදීම්වලින් තොරව රට වෙනුවෙන් ඉදිරියට යාම සියලුදෙනාගේ වගකීම බවත්, දේශපාලන බලය හා පුද්ගලික න්‍යාය පත‍්‍රවලට අනුව කටයුතු නොකර රටට හා ජනතාවට ආදරය කරන දේශපාලනඥයින් බවට සියලුදෙනා පත්විය යුතු බවත් කියා සිටියේය.

කවුරුන් කෙසේ කීවද තම වසර 50 ක දේශපාලන ජීවිතය තුළ සැමදා කැපවූයේ පිරිසිදු සහ යහපත් දේශපාලන සංස්කෘතියක් සඳහා බව පැවසූ ජනාධිපතිතුමා එම දිගුකාලීන දේශපාලන ගමනක මහඟු අත්දැකීම් සම්භාරය තුළ තමන් සෑම අවස්ථාවකම ඉතා ඉවසීමෙන් සහ උපේක්ෂා සහගතව කටයුතු කරන බවත්, තමන් පුරුදුවීමට දේශපාලනයට පැමිණි අයෙකු නොවන බවත් සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබඳ චෝදනා එල්ල කළ ද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට ද අවශ්‍යව ඇත්තේ ඉතා ඉක්මණින් මැතිවරණයකට යාමට බව පැවසූ ජනාධිපතිතුමා ඒ සඳහා අවශ්‍ය සියලු කැපවීම් මේවන විට සිදුකර තිබෙන බව කියා සිටියේය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මතකර ගනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ ආසන 47ක් පමණක් පවතින අවස්ථාවේදී වන අතර, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 142 ක් ඒ සඳහා ඡන්දය ලබාදුන් බව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කළ යුත්තේ මැතිවරණ ජයග‍්‍රහණ සඳහා පමණක් නොව යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් බවද පැවසිය.

රටේ වත්මන් සංවර්ධන වැඩපිළිවෙළ සහ ජනතාවගේ ආර්ථිකය ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ තමාගේ උපදෙස් පරිදි මසකට රුපියල් බිලියන 06 කට වැඩි මුදලක් මේ වන විට නියඟයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය වැය කරන බවයි.

වයඹ ජනතාවගේ උපහාරය ජනාධිපතිතුමා වෙත පිරිනමමින් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා, නියෝජ්‍ය අමාත්‍ය තාරානාත් බස්නායක, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ තරුණ සංවිධානයේ සභාපති ශාන්ත බණ්ඩාර, වයඹ පළාත් අමාත්‍ය ලක්ෂ්මන් වෙඩරුව, ආනන්ද සරත් කුමාර, ආනන්ද ජයලත්, කමල් ඉන්දික, නිලන්ත සුපුන් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පළාත් පාලන නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර ,ළඟම පාසල, හොඳම පාසල, වැඩසටහන යටතේ නිකවැරටිය රජබිම විද්‍යාලයේ ඉදිකෙරුණු විද්‍යාගාර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීම ද අද පෙරවරුවේ ජනාධිපතිතුමා අතින් සිදු විය.

විද්‍යාගාර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි ගණිතාගාරයේ සිසු කි‍්‍රයාකාරකම් ද නිරීක්ෂණය කළ අතර පසුගිය ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩිම ලකුණු ලබාගත් රණවිරු දරුවෙකු වන එම්. ලසිඳු ගෂේත් සිසුවා වෙත තිළිණයක් පිළිගැන්විය.

විදුහල්පති බී.එම්.එච්. දිසානායක මහතා විසින් ජනාධිපතිතුමා වෙත ද සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.

මේ අතර නිකවැරටිය බුදුමුත්තාව රජමහා විහාරස්ථානයේ ආගමික වතාවත් සඳහා ද ඉන් අනතුරුව ජනාධිපතිතුමා එක් විය.

විහාරාධිපති ශාස්ත‍්‍රපති පූජ්‍ය දොඹගොල්ලේ ධම්මාරාම නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක ද නිරත විය.

නිකවැරටිය සමදරාපිටිය ශී‍්‍ර පාලිත පිරිවෙණේ විද්‍යායතනාධිපති ශී‍්‍ර ලංකා රාමඤ්ඤ නිකායේ අනුනායක රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලපිටියාගම විමලධම්ම, රත්ගල්ලේගම සීගිරි රජමහා විහාරාධිපති පූජ්‍ය තුඹුල්ලේගම ශී‍්‍ර සුමනනායක යන ස්වාමින්වහන්සේලා ප‍්‍රමුඛ පළාතේ මහ සංඝරත්න මෙම අවස්ථාවට වැඩම කර සිටී අතර උන්වහන්සේලා පිරිත් සජ්ජායනා කරමින් ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

එමෙන්ම ,ළඟම පාසල, හොඳම පාසල, වැඩසටහන යටතේ නිකවැරටිය ජයන්ති මධ්‍ය මහා විද්‍යාලයේ රුපියල් එක්කෝටි අසූ ලක්ෂයක වියදමින් ඉදිකෙරෙන සිව් මහල් ගොඩනැඟිල්ලට මුල්ගල් තැබීම ද අද සිදු කෙරුණේ ජනාධිපතිතුමා අතිනි.

විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගත් අතර ජනාධිපතිතුමා පැමිණෙන මග දෙපස රැදී සිටිමින් ඉතා උණුසුම් ප‍්‍රතිචාර පළ කළහ.

විද්‍යාලයේ පසුගිය ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩිම ලකුණු ලබාගත් බී.එම්. තියුමි තසංගා සිසුවියට සහ බී.එම්. අමන්ද බස්නායක සිසුවාට තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ තරුණ සංවිධානයේ සභාපති ශාන්ත බණ්ඩාර, නිකවැරටිය එජාප සංවිධායක එච්.පී. තෙන්නකෝන්, වයඹ පළාත් සභා මන්තී‍්‍ර නිලන්ත සුපුන් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට ද එක්ව සිටියහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *