ඉදිරි වසර කිහිපය තුළ විශාල සංවර්ධන වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිතයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –මේ ආණ්ඩුව යටතේ දැන් රටේ සංවර්ධනය ආරම්භ කර තිබෙන අතර ගම වෙනුවෙන් වැඩකටයුතු කිරීමේ හැකියාව දැන් ලැබී තිබෙන බවත් ඉදිරි වසර කිහිපය තුළ විශාල වශයෙන් සංවර්ධන වැඩකටයුතු සිදු කිරීමට නියමිත බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එම නිසා 2020ත් ජයග්‍රහණය කරමින් 2025 දක්වා අප ගමන් කළ යුතු බවත් එවිට සියලු ප්‍රශ්න විසඳා ගනිමින් රට දියුණුව කරා ගෙන යෑමට හැකි බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.

නාවලපිටිය, ග්‍රෑන්ඩ් පැවිලියන් ශාලාවේදී ඊයේ (26) පැවැති එක්සත් ජාතික පක්‍ෂ නාවලපිටිය බලමණ්ඩල රැස්වීමට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අගමැතිවරයා සිදු කළ කතාව පහත සඳහන් වේ.

“අද දිනයේදී නාවලපිටිය එක්සත් ජාතික පක්‍ෂ බල මණ්ඩලය ප්‍රතිසංවිධානය කිරීම අප සිදු කරනවා. වසරකින් පමණ බල මණ්ඩල හෝ ශාඛා සමිති පැවැත්වීමට නොහැකි වූ නිසා එම වැඩකටයුතු අප නැවත ආරම්භ කර තිබෙනවා. එළඹෙන මැතිවරණයෙන් පසුවත් ඉදිරියටත් මෙම ප්‍රතිසංවිධාන කටයුතු සිදුකරමින් එක්සත් ජාතික පක්ෂය තුළ ශක්තිමත් සංවිධානයක් ඇති කිරීම අපේ බලාපොරොත්තුවයි. ආනන්ද අලූත්ගමගේ මැතිතුමා යටතේ මේ ප්‍රදේශයේ දේශපාලන කටයුතු වල විශාල ප්‍රතිසංවිධානයක් ඇති වී තිබෙනවා.

ඒ වගේම නැවතත් මේ ප්‍රදේශය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතුයි. අලූත් පරණ බේදයකින් තොරව පක්‍ෂයේ සියලුම සාමාජිකයන් එකට එක්විය යුතුයි. ඒ වගේම ආනන්ද අලූත්ගමගේ මැතිතුමා මේ ප්‍රදේශයට විශාල සංවර්ධනයක් ගෙනැවිත් තිබෙනවා. අද දිනයේ මා සම්බන්ධ වුණේ ඉන් එක් කොටසකට පමණයි. එම වැඩකටයුතු තවදුරටත් ඉදිරියට ගෙන යෑමට අපට අවශ්‍ය ශක්තිය ලබාදෙන ලෙසත් මේ ප්‍රදේශයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන ලෙසත් මා ඔබට පවසනවා.

2015 වසරේ රටේ බලය අපි ආණ්ඩුවට ලබා ගත්තා. එසේ නම් 2018 දී ගමේ බලයත් අප ලබා ගත යුතුයි. රටේ පාලනය තිබෙන්නේ ජාතික මට්ටම තුළයි. පළාතේ පාලනය තිබෙන්නේ පළාත් සභාව තුළයි. ගමේ පාලනය ප්‍රාදේශීය සභා සහ නගර සභා හරහා සිදු කෙරෙනවා. 2014 වසරේදී බොහෝ අය පැවසුවේ මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩුව පරාජය කිරීමට නොහැකියි බවයි. නමුත් එම ආණ්ඩුව පරාජය කරන බව අප පැවසූවා. එමෙන්ම රටේ ආර්ථිකය කඩාවැටෙනු ඇතැයිද බොහෝ දෙනා පැවසුවා. නමුත්, හැකියාව තිබෙන අවස්ථාවේ රටේ බලය ලබාගනිමින් ඉන්පසුව අනෙක් ගැටළු සඳහා මුහුණ දෙමු යැයි මා පැවසුවා. පළමුවෙන් රටේ ප්‍රශ්න 100% කින් විසඳීමට නොහැකි නම් 25% ක් විසදා එම ප්‍රමාණය පසුව 50% ක් 75% ක් දක්වා වර්ධනය කර ගත යුතු බව අපේ අරමුණ වුණා. එම නිසා රටේ යහපාලනය වෙනුවෙන් 2015 ජනාධිපතිවරණයේදී අප සියලුදෙනා එකට එක්වුණා.

එම මැතිවරණයෙන් අපේ අපේක්‍ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කළා. ඉන්පසුව පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආණ්ඩුවක් නිර්මාණය කිරීමට අපට හැකි වුණා. නමුත් අපේ ආණ්ඩුවට ලැබුණේ රටේ බලය පමණයි. පළාත් සභාවලදී බොහෝ අය මේ ආණ්ඩුවේ කකුලෙන් අදිනවා. ප්‍රාදේශීය සභා තුළ විවිධ ගැටළු ඇති කරනවා. එම නිසා ඒවායේ බලයත් ලබාගත යුතුයි. ප්‍රාදේශීය සභා විසුරුවා හැරීමෙන් පසු අප නව මැතිවරණ ක්‍රමයකට සූදානම් වුණා. ඒ ආකාරයට රටේ බලයත්, ගමේ බලයත්, දෙකම ලබාගත්තොත් ඉදිරියට යෑම පහසුයි. එසේ නම් දැන් ගමේ ඡන්දය පවත්වා අප ජයග්‍රහණය කළ යුතුයි.

අප භාරගත්තේ මානව හිමිකම් සහමුලින්ම කඩ කළ, ලෝකයෙන් පන්නා දැමූ රටක්. එක් පැත්තකින් ලෝකයේ සහයෝගය දිනාගත යුතුව තිබුණා. දැන් අප ලෝකයේ සහයෝගය ඉතා හොදින් ලබා ගනිමින් සිටිනවා. මමත් ජනාධිපතිතුමාත් ලෝකය වටේ ගොස් මේ තත්ත්වය ඇති කර ගත්තා. රට තුළ මානව හිමිකම් පිළිගැනීමේ තත්ත්වයක් ඇති කළා. මානව හිමිකම් පිළිබඳ චෝදනාවෙන් මිදෙන තුරු වෙන කිසිදු කටයුත්තක් කළ නොහැකියි. එවිට ආධාර නොලැබීම, සංචාරකයන් නොපැමිණීම, ලෝකයෙන් කොන්වීම ආදී ගැටළු ඇති වෙනවා.

අපි බලයට පත්වන විට රටේ ආදායම පහත වැටී තිබුණා. රටේ ආදයම ණය පියවීමටවත් ප්‍රමාණවත් මට්ටමක තිබුණේ නැහැ. ඉන්ධන ආදී අංශයන්ගෙන් එදා සිටි පාලකයන් මුදල් හම්බ කර ගත්තා. නමුත් අප බලයට පත්වූ පසු ලෝක වෙළෙඳපොළේ මිලට අනුව ශ්‍රී ලංකාව තුළ ඉන්ධන මිල පවත්වා ගැනීමට අප කටයුතු කළා. වර්තමානයේ ලෝක වෙළෙඳපොළේ මිල අඩු වන විට ඊට සමානව ඉන්ධන හා අනෙකුත් භාණ්ඩවල මිල අඩුවීමත් ලෝක වෙළෙඳපොළේ මිල මට්ටම ඉහළ ගියහොත් පමණක් ශ්‍රී ලංකාවේ ඉන්ධන හා භාණ්ඩවල මිල ඉහළ යාමටත් අවශ්‍ය ක්‍රමවේදය අප ඇති කර තිබෙනවා. ජීවන වියදම පාලනය කිරීමට හැකි වී තිබෙනවා. නියඟය හේතුවෙන් ඇතැම් භාණ්ඩවල මිල වැඩි වුණත් සමස්තයක් ලෙස භාණ්ඩ මිල පාලනය කිරීමට හැකියාව ලැබී තිබෙනවා.

රජයේ සේවකයන්ගේ සහ පුද්ගලික අංශයන්ගේ ආදායම් වැඩි කරමින් රටේ ආදායම් ප්‍රමාණය වැඩි කරීමට අප කටයුතු කළා. 2016 වසරේදී වැට් බද්දත් වැඩි කරමින් අප උත්සාහ කළේ රටේ හොඳ ආදායමක් ඇති කිරීමටයි. එය ඉතා අපහසු කටයුත්තක් වුණා. කෙසේ හෝ ඒ හරහා රටේ ආර්ථික ස්ථාවර භාවයක් ඇති වෙමින් රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය මුදල් ප්‍රමාණය උපයා ගැනීමට හැකි වුණා. ආනන්ද අලූත්ගමගේ, වඩිවේල් සුරේෂ්, ලකී ජයවර්ධන යන ඔබේ මන්ත්‍රීතුමන්ලා මේ ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සිදු කරන්නේ එම ආර්ථික ස්ථාවර භාවය නිසයි. අපි බලයට පැමිණෙන විට රටේ ප්‍රමාණවත් ආදායමක් නොතිබූ බව මතක් කළ යුතුයි.

නමුත් අපේ ආණ්ඩුව යටතේ දැන් රටේ සංවර්ධනය ආරම්භ කර තිබෙනවා. ගම වෙනුවෙන් වැඩකටයුතු කිරීමේ හැකියාව දැන් ලැබී තිබෙනවා. මේ ප්‍රදේශයේ තාක්‍ෂණික මධ්‍යස්ථානයක් ඉදිරි කිරීමටත්, බස් නැවතුම්පොළක් ඉදි කිරීමටත්, තවත් සංවර්ධන ව්‍යාපෘති රැසකත් වැඩකටයුතු සිදු වෙමින් පවතිනවා. එවැනි දියුණුවක් ඇති කිරීමට අපට හැකියාව ලැබුණේ කෙසේද? අවශ්‍ය මුදල් ලැබීම ඊට හේතුවයි. අවශ්‍ය මුදල් නොලැබුණා නම් ගමට සංවර්ධනය ගෙන ඒමට නොහැකි වෙනවා. අපේ ආණ්ඩුව යටතේ ඉදිරි වසර කිහිපය තුළ විශාල වශයෙන් සංවර්ධන වැඩකටයුතු සිදු කිරීමට නියමිතයි. එම නිසා 2020 ත් ජයග්‍රහණය කරමින් 2025 දක්වා අප ගමන් කළ යුතුයි. සියලූ ප්‍රශ්න විසදා ගනිමින් රට දියුණුව කරා ගෙන යෑමට හැකි වන්නේ එවිටයි. එම ජයග්‍රහණය කරා යන ගමන අප දැන් ආරම්භ කර තිබෙනවා.
රටේ ආර්ථිකය දැන් ස්ථාවර වී තිබෙන නිසා රෝහල්වලට අවශ්‍ය මුදල් ලබාදී තිබෙනවා. ගමේ පාරවල් සංවර්ධනය කිරීමට මුදල් ලබාදී තිබෙනවා. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ආරම්භ කර තිබෙනවා. අපට ප්‍රාදේශීය සභාවේ බලයත් තිබුණා නම් කෙතරම් වැඩ ප්‍රමාණයක් රට වෙනුවෙන් ඉටු කිරීමට හැකි දැයි ඔබම කල්පනා කර බලන්න. ප්‍රාදේශීය සභාව සහ නගර සභාව වෙත මහා ආණ්ඩුවෙන් මුදල් වෙන් කළ පසු සංවර්ධනය ඉදිරියට කර ගෙන යෑමට හැකියාව තිබෙනවා. මෙතරම් කෙටි කාලයක් තුළ විශාල වැඩකොටසක් අප ඉටු කළේ පළාත් සභා, ප්‍රාදේශීය සභා බලය නොමැතිවයි. එම බලය අපේ අතේ තිබුණා නම් ඔබ වෙනුවෙන් තව තවත් රැකියා බිහි කිරීමේ හැකියාව සහ ඔබට සහන සැලසීමේ හැකියාව අපට ලැබෙනවා.

එම නිසා මෙම පළාත් පාලන ආයතනවල බලය අපි වෙත ලබාගත යුතු බව අප මතක තබා ගත යුතුයි. ඒ වෙනුවෙන් වැඩකටයුතු කළ යුතුයි. මේ වන විට මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා. තවත් වසර දෙකක් ගත වූ පසු කොළඹ සිට නුවරට පැමිණීමට ගත වන්නේ පැය 1 1/2 ක් පමණයි. නුවර නගරය දියුණු කිරීමේ ව්‍යාපෘතියක් අප සතුව තිබෙනවා. මහනුවර සිට හම්බන්තොට දක්වා විශාල දියුණුවක් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

එදා හම්බන්තොට වරාය නැව් නොපැමිණෙන සුදු අලියෙක් බවට පත්ව තිබුණා. අප උත්සාහ කරන්නේ එය රටේ ප්‍රධාන වරායක් බවට පත් කිරීමටයි. කොළඹ නගරය මහනගර සංකල්පය යටතේ තවත් දියුණු කිරීමට කටයුතු කරනවා. රටේ විවිධ ප්‍රදේශවල නව වෙළෙඳ කලාප ඇති කිරීම ආරම්භ වී තිබෙනවා. හම්බන්තොට, කුරූණෑගල, කළුතර ආදී ප්‍රදේශවලට කර්මාන්ත ශාලා ගෙන ඒමත් අපේ සංවර්ධනයේ වැඩකටයුතු තුළ තිබෙනවා. සංචාරකයන් සඳහා නව හෝටල් ආරම්භ කිරීම ආදී සියලුම සංවර්ධන වැඩකටයුතු සඳහා ආයෝජකයන් ගෙන්වා ගැනීමේ වැඩකටයුතු අප දැන් ආරම්භ කර තිබෙනවා. තව වසර දෙක තුනක් ගත වනවිට මෙම සංවර්ධනය තව තවත් ශීඝ්‍ර වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

තොරතුරු තාක්‍ෂණයේ දියුණුව සඳහා නව පරිගණක තාක්‍ෂණය රටට ගෙන ඒමටත්, නව ගොඩනැගිලි ඉදිකිරීම ආරම්භ කිරීමටත් අප කටයුතු කරනවා. සංවර්ධනයේ මූලය වන්නේ ගොඩනැගිලි ඉදිකිරීමයි. නිවාස, කර්මාන්ත ශාලා, කාර්යාල ආදිය ඉදිකිරීම ඊට ඇතුළත් වනවා. එමෙන්ම වර්ථමානයේ තේ දළු සඳහා හොඳ මිලක් ලබාදීමට අපට හැකියාව ලැබී තිබෙනවා. මේ ආකාරයට සංවර්ධනය සඳහා වන විශාල වැඩසටහනක් අප දැන් ආරම්භ කර තිබෙනවා.

මෙම වැඩකටයුතු සිදු කරන අතරම, ජනතාවට නිවාස ලබාදමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කර තිබෙනවා. සජිත් පේ‍ර්මදාස මැතිතුමා ජනතාවට නිවාස ලබාදීමේ වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා. ග්‍රාමීය ජනතාවට, නාගරික මධ්‍යම පන්තියේ ජනතාවට නිවාස ලබාදීම, නිවාස ඉදිකර ගැනීම සඳහා මුදල් ලබාදීම ආදී විශාල වැඩසටහනක් අප ක්‍රියාත්මක කරනවා. ජනතාවගේ පානිය ජල අවශ්‍යතා සඳහා දිවයින පුරා ජල නල යෝජනා ක්‍රම ආරම්භ කර තිබෙනවා.

මේ සියලූ කටයුතු සිදු කරන්නේ ආර්ථිකයේ ස්ථාවර භාවයක් නොමැතිව තිබූ රටක් තුළයි. අපේ ආණ්ඩුව යටතේ කෙසේ හෝ මේ වැඩකටයුතු ආරම්භ කිරීමට අපට හැකියාව ලැබී තිබෙනවා. අපේ පාක්‍ෂිකයන් සඳහා ණය ලබාදීමත් අප සිදු කරනවා. අපේ බොහෝ පිරිසක් දේශපාලන පලිගැනීම් වලටද ලක්ව තිබෙනවා. ඒ අයට සහන සැලසීමේදී ඇතැම් ප්‍රශ්න සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද සිදුව තිබෙනවා. කෙසේ නමුත් තවත් වසරක් පමණ ගත වන විට මේ සියලූ වැඩකටයුතු අවසන් වේයැයි අප බලාපොරොත්තු වෙනවා. එළඹෙන වසරේ මුල් භාගය පමණ වන විට අද අප මුහුණ දෙන ගැටළුවලින් බොහෝමයකට විසඳුම් සොයා ගත හැකියි. ඇතැම් අය අපට එරෙහිව නඩු පැවැරීම ද සිදු කරනවා. නමුත් කෙසේ හෝ අප ඉදිරියට යනවා.

2016 වසරේ රැකියා ලබාදීම අපහසු වුවත් 2017 වසරේදී අප එය ආරම්භ කළා. රජයේ රැකියා පමණක් නොව පෞද්ගලික අංශයේ හොඳ රැකියා වෙත යොමුවීමට අවශ්‍ය මාර්ගය සියලූ දෙනාට සකසා දිය යුතුයි. අප එය දැන් ආරම්භ කර තිබෙනවා. 1970 දීත් එක්සත් ජාතික පක්‍ෂය සිදු කළේ එයයි. කෙසේ හෝ රටේ තරුණ තරුණියන්ට හොඳ රැකියාවක් කිරීමේ අවස්ථාව ලබාදිය යුතුයි. මේ සියලූ දේ සඳහා අප බලය ලබාගත යුතුයි.

ප්‍රාදේශීය සභා ජයග්‍රහණය කිරීමට නොහැකි වුවහොත් සිදු වන්නේ කුමක්ද? එසේ වුවහොත් අපේ බලය යම් තරමකින් අඩු වෙනවා. අප ජයග්‍රහණය කළහොත් අපේ බලය වැඩි වෙනවා. එසේ නම් මෙම මැතිවරණය සඳහා බැහැලා වැඩ කරමින් ජයග්‍රහණය කරමු. ඉන්පසුව පළාත් සභා මැතිවරණ ද ජයගත යුතුයි. මේ ජයග්‍රහණය සඳහා යහපාලනය කරන ඕනෑම අයෙකු සමග එක්වීමට අප සූදානම්. අප ජයග්‍රහණය කළ යුතුයි. අපේ බලය තහවුරු කර ගත යුතුයි. බලය ලබාගැනීමේ තට්ටු තුනක් දකින්නට තිබෙනවා. ආණ්ඩුව පිහිටුවීම හරහා එහි උඩම තට්ටුවේ බලය අපට දැන් ලැබී තිබෙන අතර, පහළම තට්ටුවන පළාත් පාලන බලයත් අප ලබාගත යුතුයි. එය ඉතා වැදගත්. රට දියුණු කිරීමේ හැකියාව තිබෙන්නේ එක්සත් ජාතික පක්‍ෂයට පමණක් බව අප සිහිතබා ගත යුතුයි.

වර්තමානයේ මේ සියලූ ආයෝජන රටට ලැබෙන්නේ එක්සත් ජාතික පක්‍ෂය නිසයි. එය ජනතාවට පෙනෙන්නට තිබෙනවා. අපි සියලූදෙනා සමග එක්ව වැඩකටයුතු කළ යුතුයි. එම නිසා දැන් අපට ඉතිරිව තිබෙන්නේ පක්‍ෂයක් ලෙස හොදින් සංවිධානය වී ඉදිරියට යෑමයි. අලූත් පරණ භේදයකින් තොරව පක්‍ෂයේ සියලූ දෙනා එකට එක්වී ඉදිරියට යා යුතුයි. එවිට මැතිවරණයේ ජයග්‍රහණය ලබාගනිමින් ආණ්ඩුව ඉදිරියට යන වේගය වැඩි කර ගැනීමට හැකි වෙනවා. ඒ හරහා පාක්‍ෂිකයන්ට ලැබෙන සහන මීටත් වඩා ලබාදෙන බව මම ඔබට ප්‍රකාශ කරන්න කැමැතියි. අපේ පක්‍ෂයේ පැරැණි පාක්‍ෂිකයන්, දේශපාලන පලිගැනීම්වලට බඳුන්වූවන්, දේශපාලන ආසාධාරණකම්වලට ලක්වූවන් ආදී සියලූ දෙනා වෙත අප අවධානය යොමු කළ යුතුයි.

අපේ පක්‍ෂය වෙනුවෙන් වැඩකටයුතු කරන තරුණ තරුණියන් වෙනුවෙන් පමණක් නොව රටේ සමස්ත තරුණ තරුණියන් වෙනුවෙන් හොඳ රැකියා ලබාදෙමින්, ඉහළ ආදායම් සහිත රටක් අප බිහිකළ යුතුයි. එය සාර්ථකව ඉටුකිරීම සඳහා 2018 වසරේ පළාත් පාලන මැතිවරණ සියල්ල ජයග්‍රහණය කරමු යැයි මම ප්‍රකාශ කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *