ජනපති පිළිගන්න සෝල් අගනුවර සූදානම්

(කොළඹ, ලංකාපුවත්) –දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මැතිතුමාගේ ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තෙදින රාජ්‍ය සංචාරයක් සදහා ඊයේ (27) පස්වරුවේ දකුණු කොරියාව බලා පිටත්ව ගියේය.

ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර රාජ්‍යතාන්ති්‍රක සබදතා ආරම්භ කර වසර 40 ක් සපිරීමට සමගාමීව ජනාධිපතිතුමාගේ මෙම රාජ්‍ය සංචාරය සිදු වන අතර, ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා තවදුරටත් ශක්තිමත් කරගැනීම එහි අරමුණයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මැතිතුමා අතර නිල හමුව හෙට (29) පෙරවරුවේ පැවැත්වෙන අතර දෙරටේ රාජ්‍ය නායකයින් අන්‍යොන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කරුණු රැසක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙණු ඇත.

එමෙන්ම දෙරට අතර ආර්ථීක සහයෝගීතාවය හා සංස්කෘතික සහයෝගීතාව සම්බන්ධ ගිවිසුම් කිහිපයකට මෙන්ම ආයෝජන සහයෝගීතාව හා රැකියා බලපත්‍ර ක්‍රමයට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද ජනාධිපතිතුමාගේ මෙම සංචාරය අතරතුර දී අත්සන් තැබීමට නියමිතය.

ප්‍රධාන පෙළේ ව්‍යාපාරික හමුවකට ද ජනාධිපතිතුමා මෙහිදී එක් වීමට නියමිත අතර, එරට වෙසෙන ශී්‍ර ලාංකික ප්‍රජාව සමග ද හමුවකට එක්වනු ඇත.

එමෙන්ම මව්බිම වෙනුවෙන් දිවි පුදකළ කොරියානු සොල්දාදුවන් සිහිපත් කරමින් සෝල් අගනුවර ස්ථාපිත කර ඇති ස්මාරකය නැරඹිමට ද සිය සංචාරය තුළදී එක්වන ජනාධිපතිතුමා කොරියානු පෞරාණික බෞද්ධ විහාරස්ථානයක් වන සුප්‍රසිද්ධ ජොග්යේ විහාරස්ථානය වැ`ද පුදා ගැනීමට ද නියමිතය.

අද (28) පෙරවරුවේ සෝල් අගනුවර Incheon ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගාවීමට නියමිත ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉතා හරසරින් යුතුව පිළිගැනීමට මේ වන විට කොරියානු ජනරජය සියලූ කටයුතු සූදානම් කර තිබේ.

අද ලෝකයේ හත්වන ආර්ථීක බලවතා බවට පත්ව ඇති දකුණු කොරියාව බලවත්ම ආර්ථීක සංවර්ධනයක් සහිත රටවල් 20න් සමන්විත ජී20 කණ්ඩායමේ රටවල් අතර වැඩිම ආර්ථීක අතිරික්තයක් තිඛෙන රට බවට පත්ව ඇති අතර, අපනයනය අතින් ලොව සිව්වන ස්ථානය ලබාගෙන සිටී.

ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර ඉතා ඵලදායී ආර්ථීක සහ අයෝජන සබදතා රැසක් මේ වන විට පවතින අතර, ශ්‍රී ලාංකිකයන් තිස් දහසක් පමණ දැනට එහි රැකියාවල නිරතව සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *