නව අවුරුදු උදාවේ ‘මෙල්බර්න් නුවර ප්‍රහාරයක සැලසුමක්’

(කොළඹ, ලංකාපුවත්) – නව අවුරුදු උදාව සැමරුම් අතරේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළේ යැයි පැවසෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ඔස්ට්‍රේලියානු පොලිසිය පවසයි.

බලධාරීන් පවසන පරිදි ජීවිතාන්තය දක්වා සිරදඬුවම පැනවිය හැකි වන ත්‍රස්තවාදී චෝදනා අත්අඩංගුවට ගන්නා ලද 20 හැවිරිදි පුද්ගලයාට එරෙහිව ගොනු කෙරෙනු ඇත.

මෙල්බර්න් නගර මධ්‍යයේ ඇති ෆෙඩරේෂන් චතුරශ්‍රය නම් වූ ස්ථානයේදී ස්වයංක්‍රීය ගිනි අවියකින් ජනතාවට වෙඩි තැබීමේ සැලැස්මක් එම පුද්ගලයා සතුවූ බවට චෝදනා කරන පොලිසිය දැනට මහජනයා වෙත කිසිදු තර්ජනයක් නැති බවද කියා සිටී.

බලධාරීන් පවසන පරිදි ඊයේ( 27) මෙල්බර්න්හි වෙරිබී ප්‍රදේශයේදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පෙර ඔහු ස්වයංක්‍රීය ගිනි අවියක් සතුකරගෙන නොසිටි බවය.

“අපේ චෝදනාව වෙන්නේ, ගිනි අවියක් උපයෝගී කරගෙන ඔහුට හැකි පමණ මිනිසුන් පිරිසකට වෙඩි තබා ඝාතනය කිරීමේ අරමුණක් ඔහු සතුව තිබු බවයි” යැයි වික්ටෝරියා පොලිසියේ නියෝජ්‍ය කොමසාරිස් ෂේන් පැටන් අද (28) පැවසීය.

පසුගිය වසරේ නව අවුරුදු උදාව සැමරීම සඳහා ලක්ෂ 5 ක පමණ පිරිසක් මෙල්බර්න් නගර මාධ්‍යයට එක් වූහ.

2014 සිට මේ දක්වා ත්‍රස්ත මර්දන විමර්ශන යටතේ පුද්ගලයින් 74 දෙනෙකුට ඔස්ට්‍රේලියානු පොලිසිය චෝදනා ගොනු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *