පළාත් කිහිපයකට අද සිට තද වැසි

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනට කි.මී. 950 පමණ දුරින් ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 ඇතුලත පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන ලකුණු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ හේතුවෙන් අද(05) සිට ඉදිරි දිනවලදී උතුරු සහ නැගෙනහිර පළාත්වල සහ විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශ සුළඟේ වේගය වැඩි වීමේ හැකියාවක් පවතී. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

නැගෙනහිර, උතුරු, උතුරු-මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට සාමාන්‍යයෙන් තද වැසි (මි.මි. 75 පමණ) ඇති වනු ඇතැයි අපේක්ෂා කෙරේ. උතුරු, නැගෙනහිර, ඌව, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන (පැ.කි.මී. 50 ක් පමණ) තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

එසේම පොතුවිල් සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන සිට උතුරු දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ. ශ්‍රී ලංකාවට කි. මි. 200ක් ඔබ්බෙන් ඊසාන, නැගෙනහිර සහ ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටක පැ.කි.මී. 90-100 දක්වා වැඩි වින හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වින හැක. පොතුවිල් සිට ත්‍රිකුණාමල හරහා කන්කසන්තුරය දක්වා සහ කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වන නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටක පැ.කි.මී. 60-70 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන තාවකාලිකව ඉතා තද සුළං (පැ.කි.මී.70-80 දක්වා) සහ රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු විය හැකිය. ධීවර සහ නාවික ප්‍රජාවගෙන් මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *