ශී‍්‍ර ලංකා ආරක්ෂක හමුදාව දැනුමෙන් පිරිපුන් හමුදාවක් ලෙස ගොඩනැගීමට සියලු පහසුකම් ලබාදෙන දෙනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – ජාතික ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය ප‍්‍රතිපත්තිය කි‍්‍රයාත්මක කිරීමේදී ශී‍්‍ර ලංකා ආරක්ෂක හමුදාව දැනුමෙන් මෙන්ම නව ශිල්පීය ඥානයෙන් යුත් ආරක්ෂක හමුදාවක් ලෙස ගොඩනැගීමට ලබාදිය යුතු සියලූ පහසුකම් ලබාදෙන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි.

ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ, සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලීය අංක 11 පාඨමාලාවේ උපාධි ප‍්‍රදානෝත්සවය අද (13) පෙරවරුවේ අමතමිනි.

අද පෙරවරුවේ සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එහි සේනාවිධායක මේජර් ජෙනරාල් රුවන් කුලතුංග මහතා විසින් ගෞරවයෙන් පිළිගනු ලැබීය.

අනතුරුව උපාධි ප‍්‍රදානෝත්සවය අමතමින් ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ සාමකාමී රටක ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම් ඉටුකිරීමේදී මෙන්ම අන්තර්ජාතික සහයෝගීතාවය සමග කලාපීය ආරක්ෂාව පිළිබඳ වගකීම් ඉටුකිරීමේදී අපගේ ආරක්ෂක හමුදාව තාක්ෂණික දැනුමෙන් මෙන්ම ශිල්පීය ඥානයෙන් සන්නද්ධ විය යුතු බවයි.

ජාතික ආපදා අවස්ථාවන්වලදී අපගේ ආරක්ෂක හමුදාව ආරක්ෂක සේවාවේ වගකීමවලට අමතරව ඉටුකරන මානුෂීය මෙහෙවර ද මෙහිදී ඇගයීමට ලක් කළ ජනාධිපතිතුමා මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේදී මෙන්ම වෙනත් නීති විරෝධි කටයුතු මැඩලීමේදී ද ලබාදෙන විශිෂ්ට සහය අගය කළේය.

ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 11 යටතේ අධ්‍යාපනය සම්පූර්ණ කළ යුද හමුදා නිලධාරින් 65 දෙනෙකු, නාවික හමුදාවේ 23 දෙනෙකු, ගුවන් හමුදාවේ 26 දෙනෙකු සහ විදේශීය හමුදා නිලධාරින් 14 දෙනෙකු අද උපාධි ලබාගත්හ.

උපාධි ප‍්‍රදානය සංකේතවත් කරමින් කිහිප දෙනෙකු වෙත උපාධි පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 11 හි දක්ෂතම දේශීය සහ විදේශීය නිලධාරින්ට ජය සංකේත ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න යන මහත්වරුන් ද, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී, ති‍්‍රවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානීන් ද, ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් රුවන් කුලංගු මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *