විනිසුරුවරුන්ගේ උසස්වීම් පිළිබඳ මතුව ඇති ගැටලුව ජනපතිගේ අවධානයට

(කොළඹ, ලංකාපුවත්) – විනිසුරුවරුන්ට උසස්වීම් ලබාදීමේදී මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා සියලු දෙනාට පිළිගත හැකි විධිමත් ක‍්‍රමවේදයක් සකස් කරන ලෙස ජනාධිපතිතුමා, අගවිනිසුරුවරයා ඇතුළු අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත දන්වයි.

මහේස්ත‍්‍රාත් තනතුරේ සිට ශ්‍රේෂ්ඨාධිකරණ තනතුර දක්වා කිසියම් ශ්‍රේණියක විනිසුරුවරයෙක් තමන්ගේ උසස්වීම් පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට කිසිදු අවස්ථාවක කිසිවෙකු හමුවට යාම සුදුසු නොවන බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේ ඊයේ (18) පස්වරුවේ කොළඹ ගලධාරි හෝටලයේ පැවති අධිකරණ සේවා සංගමයේ වාර්ෂික සමුළුව අමතමිනි.

කුසලතාව සැලකිල්ලට ගනිමින් අදාළ උසස්වීම සිදු කරන්නේ නම් එහිදී අනුගමනය කළ යුතු ක‍්‍රමවේදයන් ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත දැන්වූ ජනාධිපතිතුමා එය ක්ෂේත‍්‍රයේ සියලු දෙනාට මෙන්ම රටේ උගතුන්ට, බුද්ධිමතුන්ට සහ පොදු මහජනතාවට ද පිළිගත හැකි ක‍්‍රමවේදයක් විය යුතු බව සඳහන් කළේය.

පසුගිය වසර 03 තුළදී අදාළ උසස්වීම් ලබාදීමේදී ඉතා අපක්ෂපාතීව හා ස්වාධීනව එම කාර්යය ඉටුකිරීමට තමා කැපවූ බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා ගැටලු හා ප‍්‍රශ්න මතු වූ අවස්ථාවලදී නීතිපතිවරයාගෙන් විමසීම් සිදු කිරීමට මෙන්ම අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශ ලබාගැනීමට ද කටයුතු කළ බව කියා සිටියේය.

විනිසුරුවරුන්ගේ උසස්වීම්වලට අදාළව නම් නිර්දේශ කිරීමේදී යම් අයෙකුට එම උසස්වීම ලබා නොදිය යුතු බවට හේතුවන විනය කඩවීමක් හෝ යම් පරීක්ෂණයක් තිබෙනවානම් අදාළ නම් නිර්දේශ කිරීමට පෙර තමා වෙත ලිඛිතව දැනුම් දෙන ලෙස ද ජනාධිපතිතුමා මෙහිදී ඉල්ලා සිටි අතර, එමඟින් පැනනැගෙන ගැටලු හා ප‍්‍රශ්න අවම කරගත හැකි බව ද කියා සිටියේය.

විනිසුරුවරුන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම පිළිබඳ මතුව ඇති ගැටලුව පිළිබඳව නැවත වරක් අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා කර, ගැටලු ඇති නොවන ආකාරයට ක‍්‍රමවේදයක් සැකසීමට කටයුතු කරන බවද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

විනිසුරුවරුන්ගේ වැටුප් ක‍්‍රමය පිළිබඳව ඉතා දීර්ඝ කාලයක සිට මතුව තිබූ ගැටලුව පිළිබඳ අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව සාර්ථක අවසානයකට එළැඹීමට හැකිවීම පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී සිය සතුට පළ කළේය.

එමෙන්ම අධිකරණ පද්ධතියේ කි‍්‍රයාකාරිත්වයට භාෂාව බාධාවක් නොවිය යුතු අතර, අධිකරණ ක්ෂේත‍්‍රයේ පමණක් නොව අනෙකුත් රාජ්‍ය සේවයේ සියලු ආයතනවල ද භාෂා දැනුම වර්ධනය කිරීමට දැනට වඩා කඩිනම් වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවන බවත් ඉදිරි වසර 03 තුළදී එම ගැටලුව අවමකරගත හැකි වනු ඇති බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.

නඩු ප‍්‍රමාදවීමේ ගැටලුව පිළිබඳව ද අවධානය යොමු කළ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ දියුණු ක‍්‍රමවේද අනුගමනය කරමින් එහි අඩු පාඩු සකස් කර ගැනීමට කඩිනමින් කටයුතු කළයුතු බවයි. මහාධිකරණ විනිසුරුවන්ගේ සංඛ්‍යාව වැඩිකිරීමට කටයුතු කිරීම තුළින් මෙම ගැටලුවට සාර්ථක විසඳුමක් ලැබෙනු ඇති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

ගෙවී ගිය වසර තුන තුළ දේශපාලන බලපෑම්වලින් තොරව හා දේශපාලන ක්ෂේත‍්‍රයේ ප‍්‍රබලයින්ගේ ඇඟිලි ගැසීම්වලින් තොරව විනිසුරුවන්ට හා අධිකරණ ක්ෂේත‍්‍රයේ සියලුදෙනාට තම තීන්දු තීරණ ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර තිබූ බව සඳහන් කළ ජනාධිපතිතුමා, පසුගියදා මානව හිමිකම් කඩවීම් පිළිබඳ ශී‍්‍ර ලංකාවට නැගී තිබූ චෝදනාවලදී ද විදේශ විනිසුරුවරුන්ගෙන් තොරව ඕනෑම අධීකරණ කටයුත්තක් ඉටුකළ හැකි දක්ෂ සහ උගත් විනිසුරුවන් අපේ රටේ සිටින බව තමා ජාත්‍යන්තරය හමුවේ කියා සිටි බවද ජනාධිපතිතුමා සඳහන් කළේය. ඒ අනුව අදාළ ප‍්‍රශ්නය අවසන් කර ගැනීමට අපට හැකිවූ අතර එය රටේ ස්වාධීනත්වය පිළිබඳ ලැබූ ජයග‍්‍රහණයක් බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ වාර්ෂික සමුළුව නිමිත්තෙන් පළ කරන ලද සමරු කලාපය ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

ඇමතිනී තලතා අතුකෝරාළ, අගවිනිසුරු පි‍්‍රයසාද් ඩෙප්, අධිකරණ සේවා සංගමයේ සභාපති රංග දිසානායක, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති ප‍්‍රදීප් ජයතිලක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *