සංහිදියා නාලිකාවේ මැදිරි සංකීර්ණය යාපනයට

(කොළඹ, ලංකාපුවත්) – සංහිදියාවේ නාලිකාව සඳහා චාවකච්චේරියේ පිහිටි මීසාලෙයි වීරසිංහම් මධ්‍යමහා විද්‍යාලයේ ඉඩමෙන් පර්චස් 100ක භූමි ප්‍රමාණයක් ලබාදීමට රජය පියවර ගෙන ති‍බේ.

එහි, මැදිරි සංකීර්ණයක් ඉදිකිරීමට නියමිතය.

එම භූමි ප්‍රමාණය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට පවරාදීම සම්බන්ධයෙන් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. ජාතික සංහිදියාව ගොඩනැගීමේ දී මෙවැනි රූපවාහිනී නාලිකාවක් තිබීම මනා පිටිවහලක් බව, අමාත්‍ය මණ්ඩලයේ අදහස වේ.

ඒ අනූව සංහිදියාවේ නාලිකාව සදහා වෙනම සංඛ්‍යාතයක් ද ලබා දී තිබේ. අවශ්‍ය තාක්ෂණික උපකරණ මේ වන විටත් ඇනවුම්කර තිබේ‍‍‍‍‍‍‍. එහි විකාශ කටයුතු වෙනුවෙන් උතුරු පළාතේ මැදිරි සංකීර්ණයක් ඉදි කෙරෙනු ඇත.

ජාතික රූපවාහිනියේ අයි නාලිකාවේ විකාශන කාලයෙන් වැඩි ප්‍රමුඛතාවක් දැන් ලබා දෙන්නේ ක්‍රීඩා වැඩසටහන් සදහා ය.

දෙමළ භාෂාව කතා කරන විශේෂයෙන් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ජීවත් වන ජනතාවට වෙන්වූ නාලිකාවක අවශ්‍යතාව මතුව තිබුණි. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව තම දෙවැනි නාලිකාව ලෙස අයි නාලිකාව ආරම්භ කළේ 2000 වසරේදී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *