වීදි කලාකරුවන් වෙනුවෙන් ඉදිකළ ප්‍රදර්ශන පුවරු කලාකරුවන් වෙත භාර දෙයි

(කොළඹ, ලංකාපුවත්) –ස්වෝත්සාහයෙන් නැගී සිටීමට වෙර දරන වීදි කලාකරුවන්ට ශක්තියක් සපයමින් හා නිසි ගෞරවයක් ලබාදෙමින් කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ ඉදිකළ විවෘත ප්‍රදර්ශන පුවරු එම කලාකරුවන් වෙත භාරදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (20) පස්වරුවේ සිදුකෙරිණි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, කොළඹ නගර සභාව සහ ”අවකාශයේ අපි”වීදි කලාකරුවන්ගේ සංගමය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

එක් එක් කලාකරුවා වෙනුවෙන් ඉදිකර තිබූ විවෘත ප්‍රදර්ශන පුවරු නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා අනතුරුව උත්සව සභාවට එක් විය.

එම සංගමයේ ලක්ෂ්මන් දිසානායක කලාකරුවා විසින් ලී පිළිස්සුම් කලාවෙන් චිත්‍රයට නගා තිබූ ජනාධිපතිතුමාගේ රුව ඇතුළත් චිත්‍රයක් මෙහිදී එම සංගමයේ සභාපති ඒ.සී. නුවන් මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

වීදි කලාකරුවන් පිළිබදව සම්පාදන කළ ග්‍රන්ථයක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මල්රාජ් බී. කිරිඇල්ල මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම ද සිදු කෙරිණි.

මේ අවස්ථාවට අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, මහවැලි අධ්‍යක්ෂ ජනරාල් ගෝඨාභය ජයරත්න යන මහත්වරුන් සහ විදෙස් තානාපතිවරු ඇතුළු ආරාධිත පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *