ලේක්හවුස් නත්තල් අරුමය අද සිට

(කොළඹ, ලංකාපුවත්) – කිතු සමිඳුන්ගේ උපත සිහිපත් කෙරෙන නත්තල් උළෙල සමරමින් සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ‘ලේක්හවුස් නත්තල් අරුමය’ තේමාවෙන් විශේෂිත වැඩසටහන්මාලාවක් අද (22) සිට ලේක්හවුස් ආයතන පරිශ්‍රයේ දී එළිදැක්වීමට සියලු කටයුතු සංවිධාන කර ඇත.

එම විශේෂ වැඩසටහන 23 වැනිදා සහ 24 වැනිදාත් පැවැත්වෙන අතර දින තුන පුරාම සවස 6.30ට ආරම්භව රාත්‍රී 10.30 දක්වා ක්‍රියාවට නැංවේ.

ත්‍රිවිධ හමුදාවේ කැරොල් ගායනා හා වාද්‍ය ප්‍රසංගය මුල්කොට ලේක්හවුස් කතෝලික සහයෝගිතාවේ කැරොල් ගායනා කණ්ඩායමේ කැරොල් ගායනා ද ජනප්‍රිය ගායක ගායිකාවන් වන ලතා වල්පොල, අනිල් භාරතී, මාරියෝ ආනන්ද, සංජීවනී පෙරේරා, රොනී ලීච්, ලාංකිකා පෙරේරා ශිල්පීන්ගේ කිතු ගී ප්‍රසංගය මෙහි විශේෂිත වේ.

ජාතික, ආගමික සංහිඳියාව ප්‍රධානකොට සළකන සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම එහි ඉතිහාසයේ ප්‍රථම වරට නත්තල් උළෙල වෙනුවෙන් මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකාවේ සියලුම ජාතික මෙන්ම ආගමික විශේෂිත දිනයන් විශේෂිත අයුරින් සැමරීමට සැලසුම් කෙරෙන ව්‍යාපෘතියක මූලාරම්භය ලෙස බව ආයතන සභාපතිතුමන් ඇතුළු පාලනාධිකාරිය සදහන් කළේය.

දින තුනක් පුරා පැවැත්වෙන මෙම උත්සව සැමරුම ප්‍රේක්ෂක ජනතාවට වඩාත් වර්ණවත් කරමින් තම මතකයේ කාලයක් රඳවා තබා ගන්නට ඉඩ සලසමින් ෂැංග්‍රිලා හෝටලයේ අනුග්‍රාහකත්වයෙන් ‘ලේක්හවුස් නත්තල් අරුමය’ මධ්‍යයේ නොමිලේ තමන්ගේත් තම නෑ හිතමිතුරන්ගේත් සේයාරුව ලබාගන්නට අවස්ථාව උදාකර දෙයි.

එසේම නත්තල් සාප්පු සවාරියට කොළඹ නත්තල් අසිරිය අත්විඳින්නට කැරොල් සහ ජනප්‍රිය ගී ප්‍රසංගයේ රස විඳින්නට කොළඹ නගරයට මෙන්ම ලේක්හවුස් ආයතන පරිශ්‍රයට රැස්වන ජනතාවට සිය විඩාව නිවාගන්නට පහසු මිලකට තරු හෝටලයකින් ආහාර පාන ලබාගන්නට හිල්ටන්, කිංස්බරි තරු හෝටල් දායකත්වය ලබාදීම ද විශේෂ වන අතර මේ සියලු විශේෂාංගයන්හි අපූරු වින්දනය අත්විඳින්නට සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර පාලනාධිකාරිය ඔබට ඇරියුම් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *