හතුරුසිංහගෙන් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ප්‍රශ්න 40 ක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මානසිකත්වය ගොඩනැගීම සඳහා මනෝ චිකිත්සකවරයෙකුගේ සහාය ලබාගන්නා බව කණ්ඩායමේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසයි.

ඔහු ඒ බව කියා සිටියේ ඊයේ ( 28) සවස ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සමග ප්‍රථම වරට පුහුණු සැසියකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඔහු එසේ පුහුණුවීම ආරම්භ කළේ, ලබන වසර මුල බංග්ලාදේශයේ පැවැත්වෙන එක්දින තරගාවලියට තෝරාගෙන ඇති 23 දෙනෙකුගෙන් යුත් මුලික සංචිතය සමගය.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චන්දික හතුරුසිංහ පසුගිය දෙසැම්බර් 20 වෙනි දින නව පදවියේ කටයුතු ආරම්භ කළේය.

පුහුණුකරු වශයෙන් වැඩ භාරගැනීමෙන් අනතුරුව ඔහු ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ප්‍රශ්න 40 ක් ලබා දී තිබිණ.

ඕස්ට්‍රේලියානු ජාතික මනෝ චිකිත්සකවරයෙකු වන වෛද්‍ය ෆිල් ජෝන්සි ගේ සේවය ලබාගැනීමට තස්මන් බලාපොරොත්තු වන බව ඒ පිළිබඳව විමසු අවස්ථාවේ ඔහු කියා සිටියේය.

“මට මයික් හසී (හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩක) තමයි මෙම මනෝ චිකිත්සකවරයා හඳුන්වලා දුන්නේ. මම සිඩ්නි කණ්ඩායම පුහුණුකරන කොට. ඊට පස්සේ බංග්ලාදේශයේදීත් ඔහුව මම යොදාගත්තා. ශ්‍රී ලංකාවටත් ඔහුගේ සේවය වසරකට අවස්ථා හතරක් විතර ලබාගන්න බලාපොරොත්තු වෙනවා.”

ක්‍රීඩකයන් හඳුනාගැනීමේ පියවරක් ලෙස අදාළ මනෝ චිකිත්සකවරයා ක්‍රීඩකයන්ට ප්‍රශ්නාවලියක් ලබාදුන් බවත් ඔහු පැවසීය.

2010 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු ධුරයෙන් ඉවත්කළ පසුව නැවත ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ වසර හතකට පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කණ්ඩායම පුහුණුකිරීමට ලැබීම ගැන ඉතා සතුටට පත්වන බවත් චන්දික හතුරුසිංහ සඳහන් කළේය.

කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ මුත්තයියා මුරලිදරන්ගේ සේවය ද කණ්ඩායම පුහුණු කිරීම සඳහා අවශ්‍ය අවස්ථාවල ලබාගැනීමට බලාපොරොත්තු වන බව චන්දික හතුරුසිංහ වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස කණ්ඩායමට තරගාවලියෙන් තරගාවලියට නායකයෙකු පත්කිරීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තීරණය ගැන විමසීමේදී නව පුහුණුකරු කියා සිටියේ ස්ථිර නායකයකු සිටීම තමන්ටත් අදාළ නායකයාටත් පහසු වනු ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *