නුවරඑළියේ දී එක්කෝටි හතලිස් පන්ලක්‍ෂයක මුදල් කොල්ලයක්

(කොළඹ, ලංකාපුවත්) – නුවරඑළිය ප්‍රදේශයේ දී අද(02) උදෑසන රුපියල් එක්කෝටි හතලිස් පන්ලක්‍ෂයක මුදල් කොල්ලයක් සිදුව ඇත.

ප්‍රදේශයේ පිහිටි සිගරට් ඒජන්සියකට අයත් අදාළ මුදල එම ස්ථානයේ සිට නුවරඑළිය පුද්ගලික බැංකුවක තැන්පත් කිරීම සදහා රැගෙන යාමේ දී පුද්ගලයින් තිදෙනෙකු විසින් එම මුදල් කොල්ල කා ඇතැයි නුවරඑළිය පොලිසිය සදහන් කළේය.

මෙම මුදල් කුඩා ලොරි රථයකින් රැගෙන යන අවස්ථාවේ පාර්ක් පාර, ටුවර්ඉන් හෝටලය අසළ මාර්ගයේ ත්‍රිරෝද රථයකින් පැමිණි තිදෙනෙකු මාර්ගය හරස් කර ලොරි රථය නවතා එහි වම්පස වසා තිබූ දොර වීදුරුවට යකඩ පොල්ලකින් පහරදී තිබේ. එහි රියදුර සහ මුදල් අයකැමිට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර ඉදිරි අසුනේ ඔවුන් අතර තිබූ මුදල් සහිත බෑගය අනතුරුව කොල්ල කා එම ත්‍රිරෝද රථයේ ම පළා ගොස් ඇත.

කොල්ල කන ලද මුදල් තිබූ බෑගයේ මුදල්වලට අමතරව රුපියල් 37,00,000ක් වටිනා චෙක්පතක් ද තිබී ඇත.

මීට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා නුවරඑළිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *