ගුවන් පාලම් 03ක් මේ මස ජනතා අයිතියට

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ නාගරික ප්‍රදේශවල නිරන්තරයෙන් පවතින අධික වාහන තදබදය අවමකිරීම වෙනුවෙන් ඉදිකිරීම් අවසන් කළ ගුවන් පාලම් 03ක් මේ මාසය තුළ ජනතා අයිතියට පත් කරන බව, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.

රාජගිරිය, පොල්ගහවෙල සහ ගණේමුල්ල ප්‍රදේශවල ඉදිකළ පාලම් තුන මෙලෙස ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය ඇතුළුව පරිපාලන අගනුවරට පිවිසෙන රාජගිරිය නගර මධ්‍යයේ ඉදිකළ ගුවන් පාලම මේ මස 08වනදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ලගේ සහභාගීත්වයෙන් ජනතා අයිතියට පත් කෙරේ.

එසේම ප්‍රධාන නගර ගණනාවකට පිවිසුම් මාර්ගයක් වන අධික රථ වාහන තදබදයක් පවතින පොල්ගහවෙල ප්‍රදේශයේ ඉදිකළ ගුවන් පාලමද මේ මස 17දා ජනතා අයිතියට පත් කරන බව මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.

කඩවත, ගම්පහ, ජාඇල, කදාන වැනි ජනාකීර්ණ නගර අතර පිහිටි ගණේමුල්ල නගරයේ පවතින අධික රථවාහන තදබදයට විසඳුම් පිණිස ඉදි කළ ගණේමුල්ල ගුවන් පාලම මේ මස 11දා විවෘත කෙරේ.

මේ ගුවන් පාලම් තුනෙහිම වැඩ කටයුතු 2016 අප්‍රේල් 19 වැනිදා ආරම්භ වූ අතර ස්පාඤ්ඤ ගුවන් පාලම් ව්‍යාපෘතිය යටතේ ස්පාඤ්ඤ රජයේ ආධාර මඟින් එම ඉදිකිරීම් සිදුකෙරිණි.

මේ ගුවන් පාලම් අතුරින් රාජගිරිය ගුවන් පාලම සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 4514.77ක් ආයෝජනය කර තිබේ.

පොල්ගහවෙල ගුවන් පාලම සඳහා රුපියල් මිලියන 2203.11ක ආයෝජනයක්ද, ගණේමුල්ල ගුවන් පාලම සඳහා රුපියල් මිලියන 1768.21ක්ද ආයෝජනය කර තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *