බැඳුම්කර කොමිසම ගැන විවාදයකට පාර්ලිමේන්තුව කැඳවන්න – අගමැතිගෙන් ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – බැඳුම්කර කොමිසම ගැන විවාදයකට පාර්ලිමේන්තුව කැඳවන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වත්මන් රජය විනිවිද භාවයෙන් ක්‍රියා කර ඇති බැවින් ඕනෑම විවාදයකට සූදානම් බව එක්සත් ජාතික පක්‍ෂ විශේෂ සම්මේලනය අමතමින් අග්‍රාමාත්‍යවරයා ඊයේ (07) ප්‍රකාශ කළේය.

ගම හදන ආණ්ඩුව තේමාවෙන් සම්මේලනය පැවැත්වුණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී මෙසේ ද පැවසීය,

” මෙය වැදගත් ඡන්දයක්. මෙය ජයගන්න ඕන ඡන්දයක්. අපේ බලය තහවුරු කරන්නට ඡන්දය ජය ගන්න ඕන. අපි රටේ බලය ගත්තා. දැන් අපි ගමේ බලය ලබා ගත යුතුයි. රටේ බලය ලබාගත්තේ, ගමේ බලය ඉල්ලන්නේ මේ රටේ සියලූදෙනාටම හොඳ අනාගතයක් ලබාදීමටයි. අපේ අරමුණ අපේ තරුණ පරපුරට ඊළඟ දශක කිහිපය තුළදී රැකියා ප්‍රශ්න නැතිව, නිවාස ප්‍රශ්න නැතිව, ආදායම් ප්‍රශ්න නැතුව හොඳට ජීවත් විය හැකි සමාජයක් බිහි කිරීමයි. ඒකයි අපේ පක්‍ෂ ඔක්කොම 2015 දී එකතු වුණේ. ඒකයි නැවත එකතුවෙලා මේ ඡන්දයට පැමිණෙන්නේ.

අපි අවුරුදු දෙකක් රට පාලනය කරලා රට සංවර්ධනය කර ඉදිරි ගමනෙක් ආවා. සමහරු අහනවා මොකක් ද මේ අවුරුදු දෙකේ කළේ කියලා. ඒ ගැන මම වචන ස්වල්පයක් කතා කිරීමට කැමැතියි.

ඡනාධිපතිවරණය පැවැත්වීමට තිබුණේ 2017 දීයි. මහින්ද රාජපක්‍ෂ ජනාධිපති විදිහට ඉදලා 2017 ඡන්දය තියන්න හිටියේ. ඒත් ඔහු යටතේ ආර්ථිකය කඩා වැටුණා. ගමේ ආර්ථිකය කැඩුණා. නගරයේ ආර්ථිකය කැඩුණා. මහින්ද රාජපක්‍ෂට මේ රටේ ආර්ථිකය හැසිරවීමට ශක්තියක් තිබුණේ නැහැ. හදිසියේ ඡන්දයක් පැවැත්වුවා. හදිසියේ ඡන්දය පැවැත්වූයේ එය දිනයි කියා බලාපොරොත්තුවෙන්. නමුත් අන්තිමට ඔහු පැරැදුණා.

මහින්ද රාජපක්‍ෂ පැරදිලා ගියේ රටේ ආර්ථිකය අනාථ කරලා, තරුණයන්ගේ අනාගතය නැති කරලයි. ඉතින් මේ අවුරුදු දෙක අපි යොදවා ගත්තේ ඒ ආර්ථිකය ස්ථාවර කර රට සංවර්ධනය කිරීමටයි. නැත්නම් අපට ඉදිරියට යාමට නොහැකියි. රාජපක්‍ෂ සමයේ ගත් ණය දැන් අපි ගෙවනවා. අපට එය ටිකක් බරයි. මේ ණය ගෙව්වේ නැත්නම් අපි බංකොළොත් වෙනවා. ණය ගෙවන අතර, යම් කිසි මුදලක් සොයාගෙන අද අපි රට සංවර්ධනය කරනවා. මෙය මහින්ද රාජපක්‍ෂට කිරීමට බැරි වුණා. ලෝකය අපිව කොන් කළා. මහින්ද රාජපක්‍ෂ පැනලා ගියා. අපි ඉස්සරහට ගිහින් ලෝකයේ සහයෝගය දිනාගත්තා. එතැන් සිට තමයි මේ වැඩකටයුතු ආරම්භ කළේ.

මම විශේෂයෙන් කළ කාරණා කිහිපයක් විස්තර කරන්නම්. එකක් තමයි අපි අලූතින් කරපු මේ ඡන්ද ක්‍රමය. මේ ඡන්ද ක්‍රමය තිබෙන්නේ අපි ගත්ත පියවර නිසා. මීට කලින් කේවල ක්‍රමයයි, අනුපාත ක්‍රමයයි එකතු කරපු ඡන්ද ක්‍රමයක් ඇති කිරීමට බැරි වුණා. එක එක පක්‍ෂවලට එක එක උවමනාකම් තිබුණා. අපිට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොතිබුණත් සේරම පක්‍ෂ එකතු කරගෙන මේ ක්‍රමවේදය ඇති කරන්නට අපිට පුළුවන් වුණා. මේ මැතිවරණය දිහා බලා මෙහි අඩුපාඩු සකස් කර තමයි ඊළඟ මහමැතිවරණයට යන්නේ. මේ ඡන්ද ක්‍රමය නිසා අලූත් මුහුණුවලට, තරුණ මුහුණුවලට අවස්ථාව ලැබී තිබෙනවා. ඊළඟ ඡන්දයේදී මීටත් වඩා අලූත් මුහුණු ගම්මට්ටමේ, ගමේ ආණ්ඩුවට තරග කරයි කියා මම බලාපොරොත්තු වෙනවා. අද පළපුරුදු අය මෙන්ම තරුණ අයත් සිටිනවා.

කාන්තාවන්ට 25% අවම නියෝජනය ලබාදීමට තීරණය කළේ එක්සත් ජාතික පක්‍ෂයයි. අද කාන්තා මැතිවරණ අපේක්‍ෂිකාවන් විශාල ප්‍රමාණයක් දිවයින පුරා මැතිවරණයට ඉදිරිපත් වී සිටිනවා. කාන්තාවන්ට එවැනි තත්ත්වයක් ලැබුණේ එක්සත් ජාතික පක්‍ෂය නිසයි. කාන්තා හඬ බිම්මට්ටමේ ශක්තිමත් වෙන්න කාන්තාවන්ගේ නියෝජනය ඇති කරපු එක්සත් ජාතික පක්‍ෂයට ඡන්දය ලබා දෙන්න කියලා කාන්තාවන්ගෙන් මම ඉල්ලා සිටිනවා. කාන්තාවන්ගේ අයිතිවාසිකම් මීටත් වඩා ඉටුකරන්න අපි ක්‍රියා කරනවා කියා මම අද කියන්න කැමැතියි. එය සංකේතවත් කරමින් රෝසි සේනානායක මැතිණිය මේ වේදිකාවේදී ඔබ වෙනුවෙන් කතා කළා.

ඒ වගේම අපි ආර්ථිකයත් අලූතින් නිර්මාණය කරනවා. අපට අවශ්‍ය වී තිබෙන්නේ ඊළඟ අවුරුදු 15-20 ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය කිරීමටයි. රැකියා ඇති කිරීමටයි. ඒ සඳහා තමයි මේ විශාල වැඩසටහන අපි ක්‍රියාත්මක කරගෙන යන්නේ. සමහරු අහනවා මොකක් ද කළේ කියලා. යටිතල පහසුකම් සැලැස්මක් අපි හැදුවා. සමහර තැන්වල යටිතල පහසුකම් තිබුණේ නැහැ. මුදල් තිබුණේ නැහැ. මධ්‍යම අධිවේගී මාර්ගය අපි ආරම්භ කළා. මේ බස්නාහිර මහානගර අමාත්‍යංශයෙන් යටිතල පහසුකම් ගණනාවක් ලබා දුන්නා. අපිට අද පුළුවන් වෙලා තිබෙනවා ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය කරන්න ලංකාවට ඕන මූලික කලාපය දියුණු කරන්න. මහනුවර, හමුබන්තොට වෙන තෙක් විශාල යටිතල පහසුකම් ලබා දෙනවා. එය මීට කලින් නොතිබූ තත්ත්වයක්. අප බාර ගන්නා විට භාගයක් පමණක් ඉදිකර තිබූ මහා මාර්ග පමණයි අපට දකුණේදී දැක ගැනීමට හැකි වුණේ. අලාභ ලබන වරායක් හම්බන්තොට ඉදිකර තිබුණා. අද එය ආණ්ඩුවට බරක් නොවේ. මධ්‍යම අධිවේගී මාර්ගය ගැන කතා කර තිබුණා. නමුත් මුදල් තිබුණේ නැහැ. මේ සේරම එකතු කර පොදු සැලැස්මක් අනුව අපි අඩිතාලම දමා තිබෙනවා.

මේ ප්‍රදේශයේ කර්මාන්ත ඇති කිරීමට, සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට, වෙළෙඳම් හා වානිජ සේවා දියුණු කිරීමට ඒ වගේම අයි.ටී සේවා දියුණු කිරීමට, මූල්‍ය සේවා දියුණු කිරීමටයි. ඩුබායි රටට දියුණුවීමට පුළුවන්නම්, සිංගප්පූරුවට දියුණුවීමට පුළුවන්නම් අප බලාපොරොත්තු වන්නේ ඒ දියුණුව මේ ප්‍රදේශයට ගෙනත් දීමටයි.

මහනුවර සංචාරක මධ්‍යස්ථානයක් කිරීමට, ඒ ආශ්‍රිතව වෙළෙඳ කලාපයක් එහි සෑදීමට අපි බලාපොරොත්තු වෙනවා. වයඹපළාතේ දොඩංගස්ලන්ද, බිංගිරිය වෙළඳ කලාප ඉදි කරනවා. ඉරණවිල සංචාරක කලාපයක් හදනවා. මිල්ලනියේ තවත් වෙළෙඳ කලාපයක්. ගාල්ලේ සංචාරක කලාප තුනක්. ඊට අමතරව වෙළෙඳ කලාපයක්. හම්බන්තොට වෙළෙඳ කලාප පහක් නැත්නම් හයක් ඇති කරනවා. එය ආරම්භ කළ පසු සංචාරක කලාප බදුල්ලෙන්, පාසිකුඩා මේවාගේ තැන් කිහිපයක් ඇති කරනවා. සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට දැනටම තොරතුරු තාක්‍ෂණය සඳහා වැඩසටහන් කරගෙන යනවා. කොළඹමූල්‍ය මධ්‍යස්ථානයක් කිරීමට අවශ්‍ය නිති කෙටුම්පත් අපි සකස් කර ගෙන යනවා.

මෙහි ප්‍රතිඵලය රැකියා ඇති වෙන එක, ආදායම් මාර්ග ඇති වෙන එකයි. එතකොට අපේ තරුණ තරුණියන්ට, යෞවන යෞවනියන්ට තමන්ගේ ආත්ම ශක්තිය එක්ක ඉදිරියට යෑමට පුළුවන්. ආත්ම ශක්තිය නැත්නම් ඒ පුද්ගලයාගේ අනාගතය දියුණු වෙන්නේ නැහැ. එසේ නම් ඒ ආත්ම ශක්තිය ලබාදීලා රැකියා ලබාදීමට තමයි අපි විශේෂයෙන්ම වැඩකටයුතු කරන්නේ.

මීට අමතරව අප වැඩකටයුතු ගණනාවක් කර තිබෙනවා. නිවාස ලක්‍ෂ දෙකහමාරක් හදා තිබෙනවා. හොඳම පාසල ළඟම පාසල වැඩසටහන ක්‍රියාත්මකයි. පාසැල් දරු දැරියන්ට සුරක්‍ෂා නමින් දැන් රක්‍ෂණ ක්‍රමක් ඇති කර තිබෙනවා. අපි ඒවගේම මේ අවුරුද්දේ ටැබ් දෙන්න යනවා. බේත් හේත්වල වගේම සෞඛ්‍ය භාණ්ඩවල මිල අඩු කර තිබෙනවා. රෝහල් වැඩි කර තිබෙනවා. සැත්කම් සහන දී තිබෙනවා. ගිලන් රථ සේවාවන් ලබා දී තිබෙනවා. අපි කුඩා පන්සල්වලට ආධාර කරනවා. මහා විහාරයේ කැණිම් කටයුතු කරනවා. අපේ ස්වාමීන් වහන්සේලාට දඹදිව යන්න පහසුකම් සැලසීමේ වැඩ පිළිවෙලක් අප ක්‍රියාත්මක කර ගෙන යනවා. අපි හම්බන්තොට වරාය දියුණු කිරීම ආරම්භ කළා. ගාලූ නගරයේ විශාල දියුණුවක් ඇති කරනවා. අද නීතිය සාමය ක්‍රියාත්මක වෙනවා.

1977 සිට මහවැලි ව්‍යාපාරය මාර්ගයෙන් අපි විශාල මුදලක් නැගෙනහිරට, ඌවට, උතුරු මැදට යෙදෙව්වා. නැගෙනහිර සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට, ත්‍රිකුණාමලය දියුණු කිරීමට, මහනුවරයි ත්‍රිකුණාමලයයි එකතු කිරීමට, යුද්ධය නිසා විනාශ වෙලා තිබෙන යාපනයේ ආර්ථිකය දියුණු කිරීම වැනි වැඩසටහන් තිබෙනවා. මේ හැම එකකටම එක අරමුණයි තිබෙන්නේ. මේ රටේ තරුණ තරුණියන්ට මීට වඩා හොඳ අනාගතයක් ලබාදීමට අපි අඩිතාලම දැම්මා. එය අපි ආරක්‍ෂා කරගනිමින් ඉදිරියට යෑමට අවශ්‍යයි.

එක සැරයක් ආර්ථිකය කඩලා පැනලා ගිය එක්කෙනෙකුට ආපහු ගමේ ආර්ථිකය දුන්නොත් වෙන දේ මොකක් ද කියා මම කියන්න අවශ්‍ය නැහැ. කොච්චර කෑගහුවත්, කොච්චර කතා කළත්, රට විකුණනවා කිව්වත්, ඒ වෙලාව ආපු හැටියේම පැනලා ගියා. ඒ වගකීම ගන්න බය වුණා. එයාට ද ආපහු ගම දෙන්න කියන්නේ. ගම හදන්න තිබියදී ඇයි පැනලා ගියේ. වැඩේ කරන්න බැරි නිසා. ඒ ගොල්ලොන්ටද ආපහු දෙන්නේ. ඒකයි මම මෙතැන අහන්නේ.

අපි මෙතැනට පැමිණියේ යහපාලනය ගේන්න. හොරු අල්ලන්න. අපි ආණ්ඩුවක් කරන කොට චෝදනා තිබෙනවා නම් ඒ චෝදනා විභාග කර අදාළ පියවර ගන්නවා. බැඳුම්කර ගැන චෝදනාව පැමිණි විගස මම පිටිපන කොමිටිය පත් කළා. ඒ වාර්තා එක්ක පාර්ලිමේන්තුවේ විවාදයක් ඇති කළා. පිටිපන කොමිටිය තවත් දිගට වාර්තා කරන්න ඕන නිසා අපි සුනිල් හඳුන්නෙත්ති ප්‍රධාන කෝප් කමිටුවට භාර දුන්නා. ඊට පසු කෝප් කමිටු වාර්තාව විවාද කරායින් පසු 2016 ඔක්තෝම්බර් 30 වැනිදා මම නීතිපතිට යවලා කිව්වා ඒ කණ්ඩායම් පිළිබඳ සොයා බලා මේ යෝජනා කරපු අනුව අපි ගත යුතු නීතිමය පියවර කුමක් ද කියා දැනුම් දෙන්න කියා. නීතිපතිතුමා ඊට පසු පාර්ලිමේන්තුවේ මහලේකම්තුමාට ලියා එතැනින් කරුණු ඉල්ලූවා.

අර්ථ සාධක අරමුදල සහ පර්පෙචුවල් ටෙෂරීස් ගැන පරීක්‍ෂණයක් කරන්න ඕන කියා මහ බැංකුවේ අධිපතිතුමා 2017 දී පැවසුවාම මම නීතිපතිට කතා කර නීතිපති දෙපාර්තමේන්තුවේ දෙන්නෙක් අරගෙන ඒ වැඩකටයුතු කළා. එතැනදී ඒ බිලියන 11 ආරක්‍ෂා කරන්න පියවර ගත්තා. උසාවියේ නඩුවක් දමා බිලියන 11 අපිට ආපසු ගන්න පුළුවන් කියා මහ බැංකුවේ අධිපතිතුමා කිව්වා.

බැඳුම්කරය ගැන පාර්ලිමේන්තු පරීක්‍ෂණයෙන් පසු ජනාධිපතිතුමා කිව්වා ජනාධිපති කොමිෂමක් පත් කරන්න ඕන කියලා. ඒ කොමිෂම පත් කිරීමට පෙර මට ඒ ගැන කරුණු පැහැදිලි කළා. මම ඒ කරුණුවලට එකඟ වුණා. කොමිෂම ක්‍රියා කළා. මමයි ඇමැතිවරු තුන්දෙනෙකුයි ගොස් සාක්‍ෂිත් දුන්නා. මෙය ලංකාවේ නොකරපු දෙයක්. දැන් කොමිෂන් වාර්තාවත් පැමිණ තිබෙනවා. එයත් නීතිපතිට යවා තිබෙනවා. දැන් නීතිපතිට ඒවා ක්‍රියාත්මක කරන්න කියලා අපි ඉඩ දීලා තිබෙනවා.

දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා මේ ගැන විවාද කරන්න පාර්ලිමේන්තුව රැස් කරන්න පුළුවන් ද කියලා ගිය සතියේ මගෙන් ඇහුවා. සමහර පක්‍ෂ නායකවරු එහෙම කියා තිබෙන බවක් මම පත්තරෙත් දැක්කා. අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. පාර්ලිමේන්තුව රැස් කරන්න කියලා කතා නායකතුමාගෙන් ඉල්ලා සිටින්න මම ලෑස්තියි. අපි විනිවිද භාවයෙන් වැඩ කටයුතු කර තිබෙනවා. කොයි රටේ ද තුන්වතාවක් එකම සිද්ධිය පරීක්‍ෂා කළේ. කොයි රටේ ද පාර්ලිමේන්තුවේ ඉල්ලන හැම වෙලාවේම විවාද දෙන්නේ. තුන් වෙනි විවාදය දැන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හංගන්න දෙයක් නැහැ. විනිවිද භාවයෙන් වැඩ කරන්න ඕන.
ඒත් මේ කොමිෂන් වාර්තාව අරගෙන මේ කොමිෂන් වාර්තාව පෙන්න පෙන්න කතා කරන ඒකාබද්ධ විපක්‍ෂයටත්, මාධ්‍යයටත් මම එකක් කියනවා. මේ කොමිෂන් සභාවේ වාර්තාව තමන් පිළිගන්නවා නම් අපි ඉතුරු පියවරත් අරගමු. මොනවා ද ඒ ඉතුරු පියවර? ජනාධිපතිතුමා එදා කතාවේදී ඒ ගැන ප්‍රකාශ කළා.

“මෙම කොමිෂන් සභා වාර්තාවලින් හෙළිවන කරුණුවලට සමාන තත්ත්වයන් 2008 වසරේ සිට සිදුව ඇති බව කොමිෂන් සභාවේ අදහසයි. වැඩිපුරම සේවක අර්ථසාධක අරමුදල විනාශ වී ඇත්තේ එම කාලය තුළ බව කොමිෂන් සභාව සඳහන් කරනවා. “

ඒ කාලයේ ගණන් මිණුම් රුපියල් බිලියන 4000 ක් අනුමැතිය නැතිව වෙන්දේසි කර තිබෙනවා. බිලියන 10 ක් නොවෙයි බිලියන 4000 ක් ලබාගෙන තිබෙනවා මූල්‍ය මණ්ඩලයේ අනුමැතිය නැතිව. ඒ කියන්නේ ට්‍රිලියන 4 ක්. දැන් ඒ ට්‍රිලියන 4 ගෙවන්න තිබෙනවා. ඒ ට්‍රිලියන 4 ක ණය ගෙවන්න තිබෙනවා. සමහර තැන්වල ගෙවන්න මුදල් නැති නිසා තව ණයක් අරගෙන ඒ ණය ගෙවන්න ණය පිට ණය ගන්න තිබෙනවා. එහෙම කළොත් මේ විදිහට ගියා නම් ඊළඟ අවුරුදු 25 තුළ ගෙවන්න තිබෙන ණය සංඛ්‍යාව දන්නවද? බිලියන 10000ක්. මහින්ද රාජපක්‍ෂ මැතිතුමා බිලියන 10000 ක ණයක් ණයක් ඔබට භාරදීලා ගිහින් තිබෙන්නේ.

ඊයේ මම අස්ගිරි විහාරයේ සිට පැමිණෙන විට කවුද එක්කෙනෙක් ඇහුවා බොන්ඩ් කොමිෂන් වාර්තාව ගැන මොනවාද කරන්නේ කියලා. මම කිව්වා නීතිපතිට යවලා තිබෙනවා කියලා. ඉතින් දැන් මාධ්‍යවලට තියෙන්නේ බිලියන 10000 ක් ආපහු කවද්ද හම්බෙන්නේ කියලා මහින්ද රාජපක්‍ෂගෙන් ගිහින් අහන්න. ඒ ප්‍රශ්නෙ අහන්නේ නැත්නම් මට හැම වේදිකාවකදීම ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා; “ඇයි මාධ්‍ය බයද” කියලා. මම මාධ්‍ය ආයතන කැඳවලා අහනවා ඇයි බය කියලා.

බිලියන 10 ක් හොරකම් කලා කිව්වා. ඒ බිලියන 10 උසාවිය තීන්දුවකින් යළි ලබා ගන්න පුළුවන්. නමුත් ඒවගේ දහස් ගුණයක් හොරකම් කරපු එක ගැන ඇයි නිශ්ශබ්ද? එය මට කියන්න. මම කැමැතියි පාර්ලිමේන්තුවේ විවාදයට. අපි අහමු මේ ගැන. අනෙක් අය ගැන කතා කිරීමට කලින් අපි ගැන කතා කරමු. අපිට තිබෙන චෝදනා ගැන බැලූවා. දැන් මම මුදල් ඇමැතිතුමාත් සමග කතා කර මහබැංකුවේ ඔක්කොම ලිපි ආරක්‍ෂා කරන්ටත්, කබීර් හෂීම් ඇමැතිතුමා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙත්, රක්‍ෂණ සංස්ථාවේ ලිපි සියල්ලම ආරක්‍ෂා කරන්නත් උපදෙස් දුන්නා. මුල්‍ය මණ්ඩලයේ අනුමැතියෙන් තොරව, ට්‍රිලියන 4 ක බැඳුම්කර වෙන්දේසි කර රටට බිලියන 10000 ක පාඩුවක් කිරීම පිළිබඳව විභාගය අපි ආරම්භ කරනවා.

කවුද බිලියන 10000 හොරකම් කළේ. බිලියන 10 ගැන කතා කරපු නිසා බිලියන 10000 ගැනත් කතා කරන්න කියලා අපි විවාදයක් ඇති කර ගනිමු.
සමහරු අපිට කියනවා අතීතය ගැන හෙව්වේ නැහැ කියලා. දැනට නඩු 19 ක් දාලා තිබෙනවා. තව 40 ක් පොලිසියෙන් විභාග කරගෙන යනවා. ලිපිගොනු විවෘත කර තිබෙනවා විභාග කරන්න. දැන් දෙවන ජනාධිපති කොමිෂන් සභාවේ තව 24 ක් තිබෙනවා. එතකොට 64 ක් තිබෙනවා ලිපිගොනු විභාග කරන්න. මෙතැන ප්‍රමාද වෙනවා. අධිකරණ ඇමැතිතුමියයි, අජිත් පෙරේරා නියෝජ්‍ය ඇමැතිතුමයි එකට එකතු වෙලා දැන් විශේෂ උසාවිය පිළිබඳ නීතියක් සකස් කිරීමට සැලසුම් කරනවා. නීතිපතිතුමා මේ ගැන විභාග කිරීමට වෙනම කණ්ඩායමක් යොදා තිබෙනවා. ටිකක් කල් යයි. ඒත් ඒ වැඩකටයුතු කරගෙන යනවා. හොරු අල්ලන්නයි අපි ඉන්නේ. ඒ ගැන කිසිම සැකයක් බයක් තියාගන්න එපා කියා මම කියනවා.

මෙහෙම රට විනාශ කරපු අය තමයි දැන් ගම හදන්න ආපහු බලය ඉල්ලනවා. මෙච්චර කල් ගමේ බලය තිබුණා. ගම හැදුවේ නෑ. ඉදිරියට හදන්නත් ඔවුන්ට බැහැ. අපිට පුළුවන් ගම හදන්න. අපි තමයි ගම හදන්න ඉන්නේ. අපි ඒ වැඩකටයුතු කරලා දෙන්නම්.

අපේ පාක්‍ෂිකයන් සමහර අය කියනවා දේශපාලන පලිගැනීම් ගැන, රැකියා ගැන. මම පිළිගන්නවා අපට හැම එකක්ම තාම කරන්න බැරි වෙලා තියෙනවා. ආර්ථිකය කඩා වැටුණා නම් අපි ඔක්කොම ඉවරයි. අපි ඉස්සෙල්ලා සංවර්ධනය ආරම්භ කළා. මම එකක් කියන්න කැමැතියි. මං යටතේ දේශපාලන පළිගැනීම් ගැන මගේ ලේකම් තුමාගේ අවධානය යොමුවෙලා අපි ක්‍රියා කරගෙන යනවා. මම එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට කියනවා තමන් යටතේ තිබෙන වැඩකටයුතු වහාම ඉවර කරන්න කියලා ඒ ප්‍රශ්න විසඳන්න.

රජයේ රැකියා බෙදාදීමේදී සමහර ප්‍රදේශවල අයට අසාධාරණ වෙලා තිබෙනවා. ඒ නිසා මම ආපහු ඇමැතිවරුන්ට කියනවා කිසිවෙකුට අසාධාරණයක් නැතිව සාධාරණව ඒ උවමනා ප්‍රදේශවලට අපි රැකියා ලබා දෙමු කියලා. ඒත් රජයේ රැකියාවලින් පමණක් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. පුද්ගලික රැකියා උවමනායි. ඒකයි මේ වෙළෙඳ කලාප ආරම්භ කරන්නේ. ඒකයි මේ ආයෝජන ගෙන්වා ගන්නේ. ඒකයි අපිට අලූත් පිරිපහදුවක් ලැබෙන්නේ. එල්.එන්.ජී. විශේෂ විදුලි බලාගාර තුනක් ලැබෙන්නේ. වානේ කර්මාන්ත ශාලාවක්, ටයර් කර්මාන්ත ශාලා දෙකක් ලැබෙන්නේ. හෝටල්, නැව් තටාක ඇති කරන්නේ. මේ රැකියා ලබා දීමටයි. ඒ සමග මේ සමහර ඒවා වලට පුහුණු අවශ්‍යයි. ඒ නිසා ජාතික යොවුන් සේනාංකයත්, අනෙක් අංශත් දියුණු කර පුහුණුව ලබාදී රැකියා ලබාදීමේ වැඩසටහනකුත් අපි මේ අවුරුද්දේ හඳුන්වා දෙනවා කියා මම කියන්න කැමැතියි.

දැනට මුදල් අමාත්‍යංශයත් අපිත් මේවාට මුදල් ලබාදීලා ඒ වැඩකටයුතු කරගෙන යනවා. එහෙනම් පුද්ගලික අංශයට රැකියා දෙන්න. ස්වයං රැකියා සඳහා වැඩියෙන් ණය ලබාදෙන්න මේ කටයුතු කරගෙන යනවා. දැනට මම හරීන් ප්‍රනාන්දු ඇමැතිතුමා සමග කතා කළා. වයිෆයි මධ්‍යස්ථාන 8500 ක් ඇති කර තිබෙනවා. මේ කාලය අවසන් වීමට පෙර සම්පූර්ණ මධ්‍යස්ථාන 30,000 ම අවසන් කරනවා කියා එතුමා මට පැවසුවා.

අපේ ඉඩම් ඇමැතිතුමා ඔප්පු දෙන්න දැන් පටන් අරගෙන තිබෙනවා. මේ ඔප්පු ටික දුන්නායින් පසු අපි ඒවා සින්නක්කර ඔප්පු බවට පත් කරනවා කියලා කියන්න කැමැතියි. අපිට එක ප්‍රශ්නයක් තිබුණා. බොහෝ දෙනෙකුට මේ ඔප්පුවවත් තිබුණේ නැහැ. ලියුම් කෑබැල්ලක් පමණයි තිබුණේ. ලියුම් කෑල්ල විතරක් පදනම් කරගෙන සින්නක්කර අයිතිය දෙන එක ගැන ප්‍රශ්න තිබෙන බව නීතිපති දෙපාර්තමේන්තුවෙන් කිව්වා. ඒ නිසා මේ ඔප්පු ලබාදීම ඇමැතිතුමා ඉක්මනින් ආරම්භ කළා.

අපි නිවාස සෑදීමටත් තව මුදල් ලබාදෙනවා. අපි මධ්‍යම පන්තියට විශේෂයෙන්ම නිවාස ණය සහනාධාර ක්‍රමයට ලබාදීමට රුපියල් බිලියන 75 ක් වෙන් කර තිබෙනවා. ඒ වගේම අඩු ආදායම් ලාභීන්ට තට්ටු නිවාස, නගර සංවර්ධනයට බිලියන 75 ක් වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. වතුකරයේත් උතුරේත් නිවාස හදාගෙන යනවා. ඒ සඳහා අපට ඉන්දීයාවේ මෝදි අගමැතිතුමා ආධාර මුදල් ලබාදී තිබෙනවා.

මේ සමග අපි මේ ගම්මානවලට යහපාලනය ඇති කරනවා. මම හොරකම් කරන්නේ නැහැ කියලා, හොරකම් කරන්න, ස්ත්‍රී දූෂණ කරන්නේ නැහැ කියලා, ස්ත්‍රී දූෂණ කරන්න මම ප්‍රති ඥා ඉල්ලන්නේ නැහැ. අපි ක්‍රියාවෙන් පෙන්වා දී තිබෙනවා. අපිට පුළුවන් අපේ වැරැදි හදාගන්න. හොරකම් කරලා එක සභාපතිවරයෙක් අහුවුණොත් ඒ අයටත් පරීක්‍ෂණවලට මුහුණ දෙන්න වෙයි කියලා මම විශේෂයෙන් කියන්න කැමැතියි.

එහෙනම් ගමේ ආණ්ඩුව අපට දෙන්න. ගම හදන්න නම් ආර්ථිකය හදන්න ඕන. ඒ නිසා ගමේ ආර්ථික සංවර්ධන වැඩසටහන අපි සකස් කර තිබෙනවා. ඒ සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන්න ඉන්නෙ. ඒ සංවර්ධන වැඩසටහනට අපි එක්ක එකට ගමන යන අය එකතු වෙන්න. අපිට ඒ සංවර්ධන වැඩසටහනේ ප්‍රතිලාභ උවමනා නම් ඒ ආර්ථික සංවර්ධන වැඩසටහනට කැප වුණ එක්සත් ජාතික පක්‍ෂයට තනිබලය ලබා දෙන්න කියා මම කියන්න කැමැතියි.

මෙතැන තිබෙනවා කාරණා ගණනාවක්. අපට අපේ අවධානය යොමුකරන්න. අපි කොහොමද කෘෂිකර්ම ප්‍රදේශවලට ආධාර උපකාර කරන්නේ. විශේෂයෙන්ම නියඟය ඇති වෙන ප්‍රදේශවල ජලය වැඩි වැඩියෙන් රැක ගන්න, වැව් හාරන්න අවශ්‍යයි. ඒ ප්‍රදේශ සංචාරක ව්‍යාපාරවලට ගැලපේ නම් එය දියුණු කරන්න. කුඩා ව්‍යාපාරවලට අතදෙන්න. මේ සියල්ලටම උවමනා සුදුසු යටිතල පහසුකම්වලට මුදල් දෙන්න. ඒක තමයි මම ආරම්භයක් හැටියට මිලියන 20 ක් මේ අවුරුද්දේ ලබාදුන්නේ තමන්ගේ වැඩකටයුතු කරන්න කියලා. ඒ අත්දැකීම ඇතිව අපි ගම හදන්න කැමැතියි. ප්‍රාදේශීය සභා සහ නගර සභාවලට අපි දැනටම ඒ වැඩසටහනට එකතු කරන්න කැමැතියි කියලා මම කියන්න ඕන. දැනට මෙය අත්හදා බැලීමක් විදිහට අපි මූලික වැඩසටහන සිංහරාජ අඩවිය සංවර්ධන වැඩසටහනට ඇතුළත් කර තිබෙනවා.

එසේ නම් ගම හදන්න නම් ආණ්ඩුවේ බලය ලබා ගත යුතුයි. රට හදන්න පුළුවන් වුණා නම් ගම හදන්න පුළුවන්. රටේ ආර්ථිකය අතහැර ගියපු මහින්ද රාජපක්‍ෂට ගමේ ස්ත්‍රී දූෂණ කරලා පාටි දැම්ම පොහොට්ටුව පක්‍ෂයට ඡන්දය දීලා වැඩක් නැහැ. ගම නැති කර ගන්න එපා. ආණ්ඩුව සමග ගම තියා ගන්න. එක්සත් ජාතික පක්‍ෂයට ඡන්දය ලබාදෙන්න කියා මම පවසා සිටිනවා.”

එක්සත් ජාතික පක්‍ෂ විශේෂ සම්මේලනය බොරැල්ල කැම්බල් පිටියේ දී පැවැත්වුණේ අතිවිශාල පිරිසකගේ සහභාගිත්වයෙනි. දිවයිනේ සෑම ප්‍රදේශයක්ම නියෝජනය කරමින් එක්සත් ජාතික පාක්‍ෂිකයන් සම්මේලනයට එක්ව සිටියහ.

සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව සම්මේලනයේ කටයුතු ආරම්භ කෙරුණි. එක්සත් ජාතික පක්‍ෂ ගීතය ගායනා කිරීමට සම්මේලනයට සහභාගි වූ සියලු දෙනා එක්වුහ. සම්මේලනයේ කැඳවීමේ ලිපිය ඉදිරිපත් කළේ එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *