මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය අද ජනපති අතින් ජනතා අයිතියට

(කොළඹ, ලංකාපුවත්) – දශක හතරකට පසු මෙරට ඉදිවූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය අද (08) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පැවරේ.

මහවැලි පංච මහා ජලාශයන්ට අයත් අවසන් මහා ජලාශය වන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමත් සමග මීට දශක හතරකට පෙර ජනවාරි 08 වනදාවකම පොල්ගොල්ලෙන් ඇරඹි යෝධ මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ සමාප්තිය සනිටුහන් කෙරෙන අතර එය සැමරීමේ ‘සාලිස් වසරක මහවැලි අසිරිය’ ජාතික මහෝත්සවය ද අද පෙරවරුවේ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පොල්ගොල්ල ජලාශය අසල දී පැවැත්වේ.

ලෝකයේ ඉතාමත් සම්භාවනීය ඉතිහාසයකට හිමිකම් කියන ශ‍්‍රී ලංකාවේ වාරිමාර්ග සභ්‍යත්වය තුළ මහවැලි සංවර්ධන ව්‍යාපාරය ජාතියේ ප‍්‍රණාමයට ලක්වූ සුවිශේෂී ව්‍යාපෘතියකි.

හැටේ දශකයේ අවසාන භාගයේ ආරම්භ වූ මෙම ව්‍යාපාරය රටපුරා පැතිරුණු මහා පරිමාණ සංවර්ධන වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරමින් ජාතික ආර්ථිකයේ නවෝදය උදෙසා මහඟු මෙහෙවරක් ජාතියට දායාද කර තිබේ.

ජාතික ජල විදුලිබල පද්ධතිය සඳහා වැඩි ප‍්‍රතිශතයක් දායක වීමත්, වී ඇතුළු අනෙකුත් ආහාර භෝග නිෂ්පාදනය අතින් ප‍්‍රමුඛ ස්ථානයක් ගැනීමත්, නව සංවර්ධන බිම් සහ නව ජනාවාස ඇති කිරීමත්, රටේ ආර්ථික සංවර්ධනය උදෙසා රටේ සම්පත් ක‍්‍රමවත්ව යොමුකර ගැනීමත්, මහවැලි ව්‍යාපාරයෙන් අප ලැබූ උදාරතර ජයග‍්‍රහණයන්ය.

මහවැලි මහ සැලැස්මේ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ ගමන් මගෙහි මුල් ව්‍යාපාරය ලෙස පොල්ගොල්ල බෝවතැන්න හැරවුමේ ඉදිකිරීම් කටයුතු එවකට අග‍්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතා සහ ඉඩම්, වාරිමාර්ග හා විදුලිබල අමාත්‍ය සී.පී. ද සිල්වා මහතා විසින් 1970 පෙබරවාරි 28 වන දින ආරම්භ කරන ලද අතර 1976 ජනවාරි 8 වන දින ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අතින් එය නිල වශයෙන් විවෘත කෙරිණි.

මෙලෙස ආරම්භ කෙරුණු කඩිනම් මහවැලි ව්‍යාපාරයේ අවසාන ව්‍යාපෘතිය මොරගහකන්දයි. 2007 ජනවාරි 25 වන දින වැඩ ආරම්භ කර විවිධ හේතුන් මත ප‍්‍රමාද වූ ව්‍යාපෘතිය කඩිනම් කෙරුණේ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ පෞද්ගලික උනන්දුව සහ කැපවීම මතයි.

අක්කර ලක්ෂ 3ක් අලුතින් අස්වද්දා පුද්ගලයින් ලක්ෂ 15කට සෙත සලසන සහ පුද්ගලයන් ලක්ෂ 3කට පිරිසිදු පානීය ජලය සපයන මොරගහකන්ද කළුගඟ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මෑත යුගයේ ඉදිවූ සුවිශේෂී ව්‍යාපෘතියකි.

ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාව අක්කර අඩි හය ලක්ෂ හැට දහසක් වන අතර එය පරාක‍්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව මෙන් හය ගුණයකි. දැනට ජලාශයේ සම්පූර්ණ ධාරිතාවෙන් සියයට 99ක් ජලයෙන් පිරී පවති.

මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතිය යටතේ උතුරුමැද, වයඹ හා නැගෙනහිර පළාත්වල ලොකු කුඩා වැව් 2000 කට අලුත් දියවර සැපයේ. ඒ අනුව වයඹ පළාතේ වැව් 303කට සහ උතුරුමැද පළාතේ වැව් 1600 කට ජලය සැපයෙන අතර නව ලග්ගල හා මැදිරිගිරිය ප‍්‍රදේශයේ ඉදිකරන නව නගරය හා නව ජනපදවල අලුත් වැව් 48 ක් ඉදිකරනු ලැබේ.

නකල්ස් කඳු නිම්නයේ සිට අඹන් ගඟ හරහා ගලා ගිය ජල කඳ හරස් කර මොරගහකන්ද ජලාශය ඉදිකර ඇති අතර මොරගහකන්දට යාබදින් ගලා බසින කළුගඟ හරස්කර ඉදිවන නව ජලාශයේ ජලය ද මොරගහකන්දට සපයනු ලබයි.

ලංකාවේදී දැකිය හැකි ගල් පිරවූ ප‍්‍රධාන වේල්ලක්, කොන්කි‍්‍රට් කරන ලද වේල්ලක් මෙන්ම පස් වලින් සෑදු වේල්ලක් යන වේලි තුනකින් යුත් එකම ජලාශය මොරගහකන්ද ජලාශය වීම ද විශේෂත්වයකි.

ව්‍යාපෘතිය හේතුවෙන් නාඋල හා ලග්ගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අවතැන්වන පවුල් 3500 ක් පමණ මේ වන විට නැවත පදිංචිකිරීම් සිදුකරමින් පවතින අතර, දේපළ අහිමිවීම් සඳහා වන්දි මුදල් ලබාදීම සිදුකරමින් පවතී.

ජලාශයෙන් අපේක්ෂිත මිරිදිය මත්ස්‍ය නිෂ්පාදන ධාරිතාව වාර්ෂිකව ටොන් තුන් දහසක් වන අතර එමඟින් අපේක්ෂිත වාර්ෂික ආදායම රුපියල් මිලියන 225කි.

මීට අමතරව මොරගහකන්ද ජලාශය තුළින් මෙගා වොට් 25ක විදුලි බල ප‍්‍රමාණයක් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට නියමිත අතර එමගින් ඉතිරිවන ඉන්ධන පිරිවැය රුපියල් මිලියන 336කි.
මොරගහකන්ද ජලාශය ආශ්‍රිතව වාර්ෂිකව ඇඳ හැළෙන වර්ෂාපතනය ඝන මීටර් මිලියන 818 ක් වන අතර එම මහා ජල කඳ මුහුදට ගලායෑම වළකා ජලාශයේ රඳවා ගැනීම හේතුවෙන් මනම්පිටිය හා සෝමාවතිය ප‍්‍රදේශවලට වාර්ෂිකව ඇතිවන ගංවතුර තත්ත්වය අවම කිරීමට ද මෙම ව්‍යාපෘතිය තුළින් හැකියාව ලැබේ.

පළාත් තුනක වෙසෙන දහස් ගණනක් ගොවි පවුල් සඳහා සෘජු ආර්ථික වටිනාකමක් සැලසෙන මොරගහකන්ද කළුගඟ වාරි ව්‍යාපෘතිය තුළින් මුළු මහත් ජාතියටම හිමිවන ප‍්‍රතිලාභය අති මහත්ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *