රටේ ශීඝ්‍ර සංවර්ධනයක් මෙන්ම නවීකරණයක් ආරම්භ කර තිබෙනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –යහපාලන ආණ්ඩුව යටතේ රටේ කර්මාන්ත, සංචාරක, සේවා, කෘෂිකර්ම ආදී ක්ෂේත්‍රවල ශීඝ්‍ර සංවර්ධනයක් මෙන්ම නවීකරණයක් ද ආරම්භ කර තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එම අංශ සංවර්ධනය කිරීමට නම් රටේ යටිතල පහසුකම් දියුණු කිරීමට අවශ්‍ය බවත් මහා මාර්ග, විදුලිබලය, ජල සැපයුම ආදී යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට සිදු වන බවත් හෙතෙම කියා සිටියේය. ඒ අනුව මේ වසරේදී සැලසුම් සහගතව එම වැඩකටයුතු රජය විසින් ඉටුකර තිබෙන බව අගමැතිවරයා පවසන ලද්දේ රාජගිරිය නව ගුවන් පාලම විවෘත කිරීමේ අවස්ථාවට අද(08) සහභාගී වෙමිනි.

එහිදී අගමැතිවරයා මෙසේද කියා සිටියේය,

“මීට පෙර පාලකයන් විසින් ආරම්භ කර, අවසන් කර නොතිබූ ව්‍යාපෘති ගණනාවක වැඩකටයුතු අවසන් කිරීම අපේ ආණ්ඩුවට භාර වුණා. ඇතැම් සැලසුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුදල් තිබුණෙත් නැහැ. නමුත් අවශ්‍ය මුදල් සොයා ගනිමින් එම ව්‍යාපෘති ද අවසන් කර යටිතල පහසුකම් දියුණු කිරීමට අපට හැකි වුණා.

නුවර සිට හම්බන්තොට දක්වා වන කලාපය දියුණු කිරීමේ වැඩසටහන යටතේ එම ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ද සැලසුම් කර තිබෙනවා. කොළඹ නගරය මහා නගරයක් ලෙස සංවර්ධනය කිරීම ද ඊට ඇතුළත්. ඒ වගේම රටේ ශීඝ්‍ර සංවර්ධනය ඉලක්ක කර ගනිමින් කර්මාන්ත කලාප කිහිපයක්ම ඇති කිරීමට පියවර ගෙන තිබෙනවා. දිවයින පුරා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සහ ඊට අවශ්‍ය සංචාරක කලාප හඳුනා ගැනීමේ වැඩකටයුතු අපේ රජය යටතේ සිදුවෙමින් පවතිනවා. මහවැලි ව්‍යාපෘතිය අවසාන කොටස වශයෙන් මොරගහකන්ද ව්‍යාපෘතිය අපි ආරම්භ කළා. ඒ වගේම ධීවර ක්ෂේත්‍රය නවීකරණය කිරීමත් අප මේ වනවිට සිදු කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *