බස් ප්‍රමුඛතා මංතීරු වැඩසටහනේ තවත් අදියරක් ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – බස් ප්‍රමුඛතා මංතීරු වැඩසටහනේ තවත් අදියරක් අද (10) ආරම්භ විය. ඒ, බොරැල්ල සිට මරදාන දක්වා ය.

පෙරවරු 6.00 සිට පෙරවරු 9.00 දක්වා එය ක්‍රියාත්මකය. බොරැල්ල – මරදාන, අධික රථවාහන තදබදයක් සහිත මාර්ගයකි. මේ නිසා ජනතාව දැඩි අපහසුතාවට ලක්වේ. ඊට විසඳුමක් ලෙස බස් ප්‍රමුඛතා මංතීරු වැඩසටහන එම මාර්ගයේ ක්‍රියාත්මක කෙරේ.

එය අද ආරම්භ වුයේ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙනි.

කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණෙන් බස් ප්‍රමුඛතා මංතීරු ඉකුත් අගෝස්තු 15 වනදා හඳුන්වාදෙනු ලැබුවේ මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසිනි. ඒ ආයතන රැසක සහයෝගයෙනි.

බත්තරමුල්ල, පොල්දූව මංසන්ධියේ සිට ආයුර්වේද මංසන්ධිය දක්වාත්, නිදහස් මාවතේ සිට තුංමුල්ල මංසන්ධිය දක්වාත්, මොරටුව කුරුස මංසන්ධියේ සිට කටුබැද්ද දක්වාත්, සැවොයි සිනමා ශාලාව අසළ සිට බම්බලපිටිය මංසන්ධිය දක්වාත්, කටුබැද්ද මංසන්ධියේ සිට මැලිබන් මංසන්ධිය දක්වාත්, බම්බලපිටිය මංසන්ධියේ සිට පිත්තල මංසන්ධිය දක්වාත් බස් ප්‍රමුඛතා මංතීරු වැඩසටහන මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක කෙරේ.

එය තවදුරටත් සාර්ථකකර ගැනීම සඳහා අදාළ කාලය තුළ බස් මංතීරු තුළ වෙනත් වාහන ධාවනය කිරීමෙන් වළකින ලෙස ද මහානගර සංවර්ධන අමාත්‍යාශය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනු ලැබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *