බැඳුම්කර කොමිෂමේ වාර්තාව 17වනදා පාර්ලිමේන්තුවට

(කොළඹ, ලංකාපුවත්) –බැඳුම්කර ගනුදෙනු විමර්ශන ජනපති කොමිසමේ වාර්තාව 17වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා විසින් ලිඛිතව දැනුම් දී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (10) පාර්ලිමේන්තුවේ දී පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එළැඹෙන 16දා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 17දා පාර්ලිමේන්තුව වෙත එම වාර්තාවේ පිටපත් ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී කීය.

ලංකා ඉතිහාසයේ පළමුවරට මෙලෙස ජනාධිපති කොමිෂන් සභා වාර්තාවක් පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් එවැනි තීරණයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ගැනීම පිළිබඳ ව ජනාධිපතිවරයාට ස්තූතිවන්ත වන බවත් අමාත්‍යවරයා කීය.

පිටු 1300කින් පමණ සමන්විත වන මෙම වාර්තාව සාමාන්‍ය ක්‍රමය අනුව භාෂ තුනටම පරිවර්තනය කළ යුතු බවත් එමෙන් ම එය මුද්‍රණය සඳහා යන වියදම හේතුවෙන් අන්තර්ජාලයට නිකුත් කිරීමේ අඳහසක් පවතින බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් මෙහිදී පෙන්වාදුන් අතර වාර්තාව සභාගත කිරීමෙන් අනතුරුව පක්ෂ නායක රැස්වීමක දී මේ සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට දිනයක් නිම කරගන්නා බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *