බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු නිදහස් උත්සවයට එයි

(කොළඹ, ලංකාපුවත්) –බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජිනගේ බාල පුත්, එඩ්වඩ් කුමරු සහ එම ආර්යාව ලබන පෙබරවාරි 04 වෙනි දින පැවැත්වීමට නියමිත නිදහස් උත්සවයේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වීමට නියමිතය.

ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 70 වෙනි නිදහස් දින උත්සවය වෙනුවෙන් ජනවාරි 31 වෙනි දින දිවයිනට ලඟා වන එඩ්වඩ් කුමරු පෙබරවාරි 05 වෙනි දින පිටත්ව යාමට නියමිත බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය තහවුරු කළේය.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටක් බවට පත් වූ අතර, 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත කරන තුරුම ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායිකාව වූයේ ද පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකත්වය හොබවන එලිසබෙත් රැජිනය.

මින් ඉහත ඔටුන්න හිමි චාල්ස් කුමරු, එලිසබෙත් රැජින නියෝජනය කරමින් 1998 දී චන්ද්‍රිකා ජනපතිනි පාලන සමයේ පැවති 50 වෙනි නිදහස් උත්සවයට සහභාගි විය.

දෙවැනි එළිසබත් රැජිනගේ සහ එඩින්බරෝ ආදිපාදවරයාගේ කනිටු පුත් එඩ්වඩ් කුමරු ‘වෙසෙක්ස්හි ආදිපාදවරයා’ යන නමින්ද හැඳින්වේ.

මෙවර නිදහස් උළෙලට ජපානයේ සහ තායිලන්තයේ රාජකීයයන් වෙතද ඇරයුම් කර ඇතැයි සඳහන්ය.

ගාලු මුවදොර ප්‍රධාන සමරු උළෙල පැවැත්වෙන අතර ‘එකම දැයක්’ යන තේමාව යටතේ ප්‍රාදේශීය කොට්ඨාස මට්ටමින්ද සමරු උත්සව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *