මිය ගිය ධීවරයන් වෙනුවෙන් පවුල්වලට වන්දි

(කොළඹ, ලංකාපුවත්) – දෙවුන්දර මුහුදේ දී අනතුරට පත් ධීවර යාත්‍රාවේ ධීවර කටයුතුවල නියැළෙමින් සිටිය දී මරණයට පත් වූ ධීවරයින් දෙදෙනා වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වලට රුපියල් මිලියනය බැගින් වන්දි මුදලක් ප්‍රදානය කිරීමට කටයුතු කරන්නැයි, අමාත්‍ය මහින්ද අමරවීර මහතා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතාට උපදෙස් දී ඇත.

ඒ අනූව, රජයේ ප්‍රතිපාදන යටතේ මෙම ධීවරයින් දෙදෙනාගේ පවුල්වලට රුපියල් මිලියනය බැගින් වන්දි මුදලක් ප්‍රදානය කිරීමටත්, ඔවුන්ගේ පවුල්වල දරුවන්ට අධ්‍යාපනික කටයුතු සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමටත්, එමෙන්ම එම පවුල්වල නඩත්තුව සඳහා මාසිකව දීමනාවක් ලබා දීමටත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මීට අමතරව එම ධීවරයින් සෙලින්කෝ පුද්ගලික රක්ෂණාවරණය ලබා ඇත්නම් එම පවුල්වලට තවත් රුපියල් මිලියනයක් බැගින් හිමිවනු ඇත.

කෙසේ වුවද 2017 වසර තුළ වාර්තා වූ හදිසි ආපදා හා ස්වාභාවික ආපදා නිසා හානියට පත් ධීවරයින් 14කගේ පවුල් සදහා ද රුපියල් මිලියනය බැගින් වන්දි ලබා දීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.

මේ වන විට ධීවර රක්ෂණ ක්‍රමය යටතේ ධීවර කාර්මිකයින් 49,848ක් රක්ෂණය කරනු ලැබ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *