අලුත් පක්ෂ ගොඩනගන අයට දේශපාලන පිටකොන්ද ගැන ජනපති කියයි

(කොළඹ, ලංකාපුවත්) – අලුත් පක්ෂයේ සාමාජිකත්වය ලබා නොගත් බවට මාධ්‍ය සාකච්ඡාවලදී පවසන අය, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට නොව වෙනත් පක්ෂයකට ඡන්දය ලබාදෙන්නැයි ජනතාවට පැවසීම විහිළුවට කරුණක් බවත්, හෘද සාක්ෂියට අනුව දේශපාලනයේ නිරතවන ලෙස තමා එම සියලු දෙනාට පවසන බවත් ජනාධිපතිතුමා පැවසීය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (14) පස්වරුවේ හෝමාගම ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

අලුතින් පිහිටුවාගත් එම පක්ෂයේ ලේකම්වරයා සහ සභාපතිවරයා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරු මෙන්ම පසුගිය රජයේ ඉහළ තනතුරු දැරූ අය බව පැවසූ ජනාධිපතිතුමා ඔවුන් අද මේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සිට සිදුකරමින් සිටින්නේ දෙවැනි බණ්ඩාරනායක ඝාතනය බව ද කියා සිටියේය.

අද තම දේශපාලන කාර්යාලවලට බණ්ඩාරනායක මැතිතුමාගේ සහ මැතිණියගේ ඡායාරූපය නොමැතිව බැරි අය එදා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වන අවස්ථාවල ඇතුළු වැඩසටහන්වලදි බණ්ඩාරනායක ශී‍්‍රමතාණන් සිහිපත් කිරීම ලෙස න්‍යාය පත‍්‍රයට ඇතුළත්ව තිබූ වගන්තිය පක්ෂයේ හිටපු නායකයින් සිහිකිරීම කියා වෙනස් කිරීමට උපදෙස් දුන් අය බවද ජනාධිපතිතුමා කියා සිටියේය.

මෙම ජන හමුව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ වංචාව දූෂණය පිටුදැකීමට සහ වංචා දූෂණ සිදුකරන අයට එරෙහිව දැඩි තීන්දු තීරණ ගැනීමට තමන් කටයුතු කරන්නේ මේ රටේ ජනතාව පිළිබඳ විශ්වාසය තබමින් බවයි.

සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී රටේ ජනතාව වෙනුවෙන් ගත් දැඩි තීන්දු තීරණ හේතුවෙන් දුම්වැටි සමාගම් ඇතුළු බහුජාතික සමාගම් රැසක් තමා සමග අමනාප වූ බවත්, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ද තමන්ගේ සතුරන් බවට පත්වූ අතර අද වංචාවට, දූෂණයට එරෙහිව කොමිෂන් සභා පත් කරමින් සිදු කරන්නේ ද පහසු කාර්යයක් නොවන බව ජනාධිපතිතුමා කියා සිටියේය.

එහෙත් මේ රටේ ජනතාව තමන් සමග සිටින බව තමා විශ්වාස කරන බව පැවසූ ජනාධිපතිතුමා එම ජනතා විශ්වාසයත් සමග රට වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ ඉදිරියටම කි‍්‍රයාත්මක කරන බව ද අවධාරණය කළේය.

මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් දිවයින පුරා සංවිධානය කර තිබෙන ජනහමු මාලාවේ කොළඹ දිස්ති‍්‍රක් මංගල ජන හමුව මෙලෙස හෝමාගමදී අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ හෝමාගම ආසන සංවිධායක ගාමිණී තිලකසිරි, වීරකුමාර දිසානයක, කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින් රැසක් මෙම ජනහමුවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *