පාරිභෝගික අධිකාරියේ වැටලීම් වල 17% ක වර්ධනයක්

(කොළඹ, ලංකාපුවත්) – 2016 වසරට වඩා පසුගිය 2017 වසරේදී පාරිභෝගික අධිකාරිය මඟින් සිදුකළ වැටලීම් වල 17% ක වර්ධනයක් සිදුවී ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

2017 වසරේදී රුපියල් මිලියන 98.2 ක දඩ මුදලක්ද පාරිභොගික අධිකාරිය විසින් අයකරගෙන ඇති අතර එය 2016 වසරට වඩා 8.3% ක වැඩිවීමක් බවත් අධිකාරිය විසින් විශේෂ වැටලීම් විශාල ප්‍රමාණයක් පසුගිය වසර තුළදී වෙළඳපළ තුළ සිදුකර ඇති බවද රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා සඳහන් කළේය.

තර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන පාරිභෝගික කටයුතු අධීකාරිය පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වන ආයතනයක් බවත් පසුගිය වසරේදී තෝරාගත් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පාලනය කරමින් නියෝග පනවා ඇති අතර නාඩු සහල් , මයිසූර් පරිප්පු, කරවල (කට්ටා සහ සාලයා) හා පොල් මිල මෙලෙස පාලනය කිරීමට කටයුතු කර තිබෙන බවද ඇමතිවරයා පැවසීය.

එසේම පාරිභෝගික නීති වලට පටහැනිව කටයුතු කරන වෙළෙදුන්ට එරෙහිව වෙළඳපළ වැටලීම් 25 708ක් හා නඩු පැවරීම් 25 082 ක් සිදුකර ඇති අතර එම වැටලීම් අතර වෙළඳ පළට නිකුත් කිරීමට සූදානම් වූ ලෙමන් ටී ඇසුරුම් 31 000 ක්ද, තොරතුරු මකා දැමූ බල්බ 31 000 ක්ද මිනිස් පරිභෝජනයට නුසුදුසු මිලියන 15 ක් වටිනා සුදුළුණු තොගයක්ද, ලක්ෂ 10 බැගින් වටිනා කරවල හා එළවළු තෙල් ද අත්අඩංගුවට ගත් බව රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *