රටේ ආර්ථික කළමනාකරණයේ වගකීම තමා අතට ගන්නා බව ජනපති පවසයි

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය වසර තුන පුරා එක්සත් ජාතික පක්ෂයට රටේ ආර්ථික කළමනාකරණයට ඉඩ දී තිබුණත් මෙම වසරේ සිට එම වගකීම තමා අතට ගන්නා බව ජනාධිපතිතුමා පවසයි.

ඒ සඳහා මීට තෙමසකට පෙර ජාතික ආර්ථික සභාව පත් කළ බව පැවසූ ජනාධිපතිතුමා ඒ හරහා රටේ ආර්ථිකය ඉදිරියට මෙහෙයවමින් ජනතාවට සහන ලබාදීමට කටයුතු කරන බව ද ප‍්‍රකාශ කළේය.

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (20) පස්වරුවේ කෑගල්ල ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

දේශිය කර්මාන්ත, දේශීය නිෂ්පාදන සහ දේශීය ආයෝජන සියල්ල ආරක්ෂා කරමින් රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ වගකීම තමා භාරගන්නා බව ද මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා රට හැර නොගොස් මාතෘභූමිය ගොඩනැගීමට එක්වන ලෙස තමා සියලු දේශීය කර්මාන්තකරුවන්ගෙන් මෙන්ම ආයෝජකයින්ගෙන්ද ඉල්ලා සිටින බව ප‍්‍රකාශ කළේය.

ස්වාභාවික සම්පත්වලින් අනූන අපේ රට ලෝකයේ දියුණු රාජ්‍යයක් බවට පත්කිරීමට කිසිදු බාධාවක් නොමැති අතර ඇති එකම බාධාව දූෂිත දේශපාලනය බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා දූෂිත දේශපාලනයට තිත තැබීමේ ගමන තමා මෙම පෙබරවාරි 10 වෙනිදා පළාත් පාලන මැතිවරණයත් සමග ආරම්භ කරන බවද කියා සිටියේය.

එමෙන්ම රටේ සියලු ආගමික නායකයින් උගතුන්, බුද්ධිමතුන් සහ රටේ සියලු ජනතාව එකම කොඩියක් යටතට ගෙන එමින් මේ රට දූෂණයෙන් වංචාවෙන් තොර ලෝකයේ ප‍්‍රබුද්ධ රාජ්‍යයක් ලෙස ගොඩනැගීමේ ගමන ද එම මැතිවරණ ජයග‍්‍රහණයත් සමග අරඹන බව ජනාධිපතිතුමා පැවසීය.

කෑගල්ල දිස්ති‍්‍රක්කයේ මහා ජලාශ ගණනාවක් සෑදීමට සූදානම් වන බවට කෙරෙන ප‍්‍රකාශ පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ දිස්ති‍්‍රක්කයේ ස්වාභාවික සම්පත්වලට කිසිඳු හානියක් සිදු නොවන අයුරින් ගංවතුර තත්ත්වය ද පාලනය කරමින් මහමුහුදට ගලායන මහ ජල කඳ ලෝකයේ ඉහළම නවීන තාක්ෂණය භාවිතා කරමින් නළ මාර්ගයෙන් උතුරට ගෙනයාමේ ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කරන බවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් දිවයින පුරා පැවැත්වෙන ජනහමු මාලාවේ කෑගල්ල දිස්ති‍්‍රක් ජන හමුව මෙලෙස අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් කෑගල්ල පොළ භූමියේදී පැවැත්විණි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ උප ලේකම් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඇතුළු පිරිස විසින් සංවිධානය කර තිබූ මෙම ජන හමුවට අමාත්‍ය එස්.බී. දිසානායක, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, ශාන්ත බණ්ඩාර, අතාවුද සෙනෙවිරත්න, එච්.ආර්. මිත‍්‍රපාල, ආනන්ද මිල්ලන්ගොඩ, අනුරුද්ධ පොල්ගම්පොල යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් රැසක් ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *