සිංගප්පූරුව සමඟ නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් තැබීම අද

(කොළඹ, ලංකාපුවත්) –ශ‍්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීම අද (23) සිදුකිරීමට නියමිතය.

සිංගප්පූරූ අග‍්‍රාමාත්‍ය ලී සියෙන් ලුන්ග් මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මුණගැසීමෙන් අනතුරුව මෙම නිදහස් වෙළෙද ගිවිසුමට අත්සන් තැබීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

ඊයේ(22) පස්වරුවේ දිවයිනට පැමිණි සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයාව අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නිල හමුදා උත්තමාචාර සහ ආචාර වෙඩිමුර සහිතව පිළිගැනීමට නියමිතය.

අනතුරුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සහ සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයා අතර නිල ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.

එම සංචාරය අතර තුර දී සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරය මෙරට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවී දෙරටේ ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

එමෙන්ම සිංගප්පූරු අග‍්‍රාමාත්‍ය ලී සියෙන් ලුන්ග් මහතා සිංගප්පූරුව සහ ශ‍්‍රී ලංකාව යන දෙරටේම ප‍්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයින් හා ආයෝජකයන් සහභාගී වන ව්‍යාපාරික සංසදයකට සහභාගී වීමට ද අපේක්‍ෂිතය.

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයා හෙට(24) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

මේ අතර දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩොඩෝ මහතා හෙට දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයකට අනුව ඉන්දුනීසියානු ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *