ඇමති රංගේ බණ්ඩාර නැවතත් පූක්කුලමට

(කොළඹ, ලංකාපුවත්) –පූක්කුලම ගම්මානයේ ඉදිරි සංවර්ධන කටයුතු සැලසුම් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ(22) එම ගම්මානයේදී පැවැත්විණ. මෙහිදී පූක්කුලම වැසියන් සඳහන් කළේ පසුගිය කාලයේ ඇතැම් කණ්ඩායම් විසින් කළ ප‍්‍රකාශ හමුවේ තමන්ගේත් දූදරුවන්ගේත් අනාගතය පිළිබඳ බලාපොරොත්තු බිඳ වැටුණු බවයි.

එමෙන්ම තමන් ශී‍්‍ර ලංකාවේ පුරවැසියන් සේ සැලකීමටවත් ඇතැමුන් අකාරුණික වූ බවද ගම්වැසියන් පැවසූහ.

මෙම සාකච්ඡුාව පැවැත්වුණේ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙනි. සාකච්ඡුාවෙන් අනතුරුව ගම්මානයේ නිවාස හා අනෙකුත් පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල සැලසුම් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීමටද අමාත්‍යවරයා පියවර ගත්තේය.

පූක්කුලම දුගී දුප්පත් ජනතාවගේ ජීවිත නගා සිටුවීම වෙනුවෙන් තමන් සද්භාවයෙන් කටුයතු කළද ඊට එරෙහිවද චෝදනා එල්ලවන තත්ත්වයක් උදා වූ බවත් පූක්කුලම ගම්මානය සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලට එරෙහි වෙමින් මේ රටේ දුප්පත් ජනතාව කොන් කිරීමේ මානසිකත්වයෙන් ඇතැම් ජාත්‍යන්තර නොවන සංවිධාන කටයුතු කළ බවත් ඔහු කියා සිටියේය. එමගින් තමන් තවත් පන්නරය ලැබූ බවත් චෝදනා සියල්ල අසත්‍ය බව ඔප්පු කිරීමට මෙන්ම පූක්කුලම ගම්මානය කඩිනමින් සංවර්ධනය කිරීමටද පියවර ගන්නා බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේය.

ගම්මානය සංවර්ධනය කිරීමේ මූලික වැඩ කටයුතු ලබන මාසයේ සිටම ආරම්භ කිරීමට හැකි වනු ඇති බවටද අමාත්‍යවරයා විශ්වාසය පල කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *