දූෂණ වංචා පිළිබඳ කතා කිරීමට තමා සමග විවාදයකට පැමිණෙන්නැයි ජනපතිගෙන් සියලු පක්ෂ නායකයින්ට අභියෝගයක්

(කොළඹ, ලංකාපුවත්) – දූෂණ වංචා පිළිබඳ කථා කිරීමට තමා සමග විවාදයකට පැමිණෙන්නැයි තමන් මේ රටේ සියලු ප‍්‍රධාන දේශපාලන පක්ෂවල නායකයින්ට අභියෝග කරන බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ(25) පස්වරුවේ පානදුර ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

මහබැංකු මංකොල්ලය සිදුකරමින් සහ බරපතළ වංචා දූෂණ සිදුකරමින් මේ රටේ රාජ්‍ය සම්පත් සහ මහජන මුදල් කොල්ලකෑවේ කවුදැයි ජනතාව හොඳින් දන්නා බව පැවසූ ජනාධිපතිතුමා ජනතාවට කිසිදා සත්‍ය වසන් කළ නොහැකි බව ද කියා සිටියේය.

එමෙන්ම මහබැංකු බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව සහ බරපතළ වංචා දූෂණ පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තුවේ හඬනැඟු පිරිස් එම වාර්තා තමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දූෂිත ප‍්‍රභූන්ගේ සන්ධානයක් ගොඩනඟා ගනිමින් එම වාර්තා විවාදයට ගැනීම ප‍්‍රමාද කර ඇති අයුරු ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම කොමිෂන් සභා වාර්තා පාර්ලිමේන්තුවට ගෙන ඒමට පෙර දින මෙම ප‍්‍රභූ දූෂිත සන්ධානය බොරැල්ලේ නිවසක හමුවී පක්ෂ, පාට, ජාති සහ භාෂා භේදයකින් තොරව සන්ධානගතවූයේ තම දූෂිත කි‍්‍රයාවන් වසන් කර ගැනීමට බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

අදාළ වාර්තා පාර්ලිමේන්තුවේ විවාදයට ගත්තා නම් බොහෝ දෙනෙකුගේ වැරදි රටට හෙළිවන බව පැවසු ජනාධිපතිතුමා පෙබරවාරි 10 වනදා පැවැත්වෙන මැතිවරණයට පෙර හැකි නම් එක් දිනක් හෝ එම වාර්තා විවාදයට ගන්නැයි තමන් ඔවුන්ට අභියෝග කරන බව ද කියා සිටියේය.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා ඒ සඳහා ඡන්දය භාවිතා කළේ හෝ එදින පාර්ලිමේන්තුවට පැමිණියේ ද නැති බවත්, පාර්ලිමේන්තුවෙන් පිටත සිට රවී කරුණානායක මහතාට සුබ පැතු අන්දමත් පිළිබඳ තමා පසුගියදා කළ ප‍්‍රකාශයට පිළිතුරු දෙමින් එවැනි විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ගෙන ඇවිත් නැති බවට, හිටපු ජනාධිපතිවරයා කර තිබෙන ප‍්‍රකාශය ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා අදාළ දිනයේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව ද ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ එදා පාර්ලිමේන්තුවට නොපැමිණි මන්ත්‍රීවරුන්ගේ නාම ලේ්ඛනයේ හිටපු ජනාධිපතිවරයාගේ නම සඳහන්ව තිබෙන බවයි.

ජනතාව රැවටීම හෝ මුලා කිරීමට කිසිදු දේශපාලන පක්ෂයකට හැකියාවක් නොමැති අතර නීතිය ඉදිරියේ ඒකාන්තයෙන්ම වංචා දූෂණ සිදුකළ සියලු දෙනා වැරදිකරුවන් බවට පත්වන බවද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සංවිධානය කර තිබෙන ජන හමු මාලාවේ කළුතර දිස්ති‍්‍රක් ජන හමුව මෙලෙස අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් කළුතර නගර සභා ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ කළුතර දිස්ති‍්‍රක් නායක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් සංවිධානය කර තිබූ මෙම ජනහමුවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර මලිත් ජයතිලක, පළාත් අමාත්‍යවරුන් වන රංජිත් සෝමවංශ, සුමිත්ලාල් මෙන්ඩිස්, යසපාල කෝරළගේ යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින් රැසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *